ආගම පෞද්ගලිකයි!
සාමාන්‍යයෙන් විද්‍යාඥයෙක් එයාගෙ පර්යේෂණයක් වෙනුවෙන් අවුරුදු ගානක් කැප කරනවා. ලැබ් එක ඇතුලෙ වෙන්න පුළුවන් වෙන සමාජ පරිසරයක වෙන්න පුළුවන් එක දිගට තමන්ගේ විෂය ගැන පර්යේෂණ කරනවා. ඒ වගේම තවත් මිනිස්සු පිරිසක් තමන්ගෙ මනස ගැන පර්යේෂණ කරනවා. ඒ ගොල්ලො ගල්ගුහාගත වෙලා වනාන්තරගත වෙලා අවුරුදු ගනං මිනිස් ඇසුරක් නැතුව තමන්ගේ ඇතුලටම ගමන් කරනවා. මිනිහෙක් සියලු සමාජ සම්බන්ධතා නැත්තං සාමූහික නොයිස් එකෙන් දුරස් වුනොත් මොනවා වෙයිද? අනිවාර්යෙන්ම සාමාන්‍ය සමාජය ඇතුලෙ ජීවත්වෙන මිනිහෙකුට වඩා හුදකලාවේ තමන් ඇතුලට ගවේෂනය කරන මිනිහෙකුට සවිඥානකත්වයේ ගැඹුරු තලයන් මුනගැහෙනවා. සමහරු පිස්සො වෙනවා. තවත් සමහරු මුනිවරු වෙනවා.
මිනිහෙක් ඇස් වහගෙන තමන් ඇතුලට යොමුවෙන භාවනාවක් කරද්දි මුලින්ම තේරුම් ගන්න දේ තමයි තමන්ගේ මනස කොයිතරම් කුනුගොඩක්ද කියන එක. පිටකොටුවෙ මාර්කට් එකට වඩා ගෝෂාවක් කියන එක. ඒ කිසි දෙයක් තමන්ගේ පාලනයෙන් තොරයි සහ තමන් ඒ හැගීම් සිතුවිලි සංවේදනා අතර ඒ අතට මේ අතට ගහගෙන යනවා කියන එක. පලවෙනි වතාවට භාවනාවක් කරන්න උත්සාහ ගන්න මනුස්සයෙක් බය වෙනවා තමන්ට පිස්සු හැදීගෙන එනවා කියන තරමට. අපිට දැනෙන විශිෂ්ටතම පරිකල්පනයක් සිතුවිල්ලක් පවා අපේ නිහඩබවට බාධා කරනවා. අපිව වහල් කරගන්නවා. සෙන් අභ්‍යාසවලදි ඔබේ මගේදි බුදුකෙනෙක් මුනගැහුනොත් මරා දමන්න කියන්නෙ මේ අදහසින්.
හැම ආගමක්ම ඉපදෙන්නෙ මේ මනස් ගැඹුරෙ සත්‍යය ගවේෂනය කිරීමේ ප්‍රවේශයක් විදිහට. ඒත් කිසිම ආගමක් ආයතනගත වුනාට පස්සෙ මේ සත්‍යය ශේෂ වෙන්නෙ නෑ. ඒවා නටඹුන් විතරයි. බුද්ධාගමේ අපි මේ අභ්‍යන්තර මනස ජයගන්නා අයට බුදුවරුන් කියනවා. මෙතනදි ජයගන්නවා කියන අදහසම අපිව මුලා කරන්න ඉඩ තියෙනවා. ජයගන්න කිසි දෙයක් නෑ, පවතින්න විතරයි තියෙන්නෙ. ගමන් කරන්න ගමනාන්තයක් නෑ, ගමන නතර කරන්නයි තියෙන්නෙ.
ලෝකෙ බුද්ධාගම ඉතුරු වුනා කියන ලංකාවෙ කිසිම දවසක බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ කියන එකයි මගේ විශ්වාසය. තමන්ගේ මනස ගවේෂනය කිරීම කියන අර්තයෙන් බුද්ධාගම වෙනස් වෙලා ගොඩක් කල්. අපිට ඉතුරු වෙලා තියෙන්නෙ දැනුම විදිහට කටපාඩම් කරපු ලංකාවෙ ව්‍යවස්තාව වගේ ඕනම අර්තයකට හරවන්න පුළුවන් කරුණු තොගයක් විතරයි. ඇදහිල්ලක්, ගැලවීමේ මාර්ගයක්, සම්ප්‍රදායක් විතරයි. මේ සියල්ලෙන්ම ඒ අවශ්‍ය අභ්‍යන්තර ගවේෂනය වලක්වනවා. රවට්ටනවා. ඒවා ජාතිය ආගම බවට පෙරලනවා.
ලෝකෙ මේ මොහොතෙත් බුදුවරුන් බිහිවෙමින් ඉන්නවා. ඒ බුදුවරුන් බහුතරයක් බිහිවෙන්නෙ බටහිරෙන්. බටහිර ආගම් අතර පර්යේෂන කරමින් විවිධ ආධ්‍යාත්මික සාරයන් හොයාගෙන යන ඒ වගේම අදේවවාදය, විද්‍යාව වගේ කාරණා මගින් මිත්‍යාව හරණය කරන ප්‍රවේශයන් ගන්න අය. ආගම වෙනුවට නැවත පුද්ගල ආධ්‍යාත්මය කියන කාරණය විෂය කරගන්නා අය.
මං පොඩි කාලෙ හැදුනෙ ඉතාම දැඩි බෞද්ධ පරිසරයක. පන්සල කියන්නෙ මට ගෙදරට වඩා හුරු තැනක්. මගේ ජීවිතේ වීරයා වුනේ සිද්ධාර්ථ. ඒ ආගමික නැඹුරුව විසින් මට දීපු පරිකල්පනයට, ඒ වගේම භෞතිකය ඉක්මවූ යමක් ගැන විශ්වාසයට, සාමූහික මිනිස් සංස්කෘතියට මං අදත් ගරු කරනවා. යෝද බුදු පිලිමයක් පාමුල කුඩාවට දැනෙන මගේ පැවැත්ම පිලිබඳ හැගීම මට අදටත් වටිනවා. ඒ මගේ ජීවිතේ මං ලබපු ලොකුම වත්කම.
ඊට පස්සෙ මං ගියා හේතුවාදයට. සියලු ආගමික විශ්වාසයන්ට පහර දෙන අන්තයට. ඒබ්‍රහම් ටී කොවුර් කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලකුනක් වුනා. පන්සලේ දහම් පාසැල් සමිතියෙ මං කොවුර්ගෙන් ඉගෙන ගත්ත ප්‍රශ්න කිරීම් කළා. පන්සල් කඩලා දාලා පොඩි උන්ට සෙල්ලම් පිට්ටනි හදන්න ඕනා කියල මං කියද්දි මං දහය වසරෙ විතර ඇති. අහන් ඉන්න මිනිස්සු කුපිත වෙද්දි හාමුදුරුවරු හිනාවෙවී මගේ ඔලුව අතගෑවා. තව දුරට හිතන්න, අපි කියන දේ ඒ විදිහට බාරනොගෙන ප්‍රශ්න කරන අලුත් පරම්පරාවක් ඉන්න එක කොච්චර හොඳද.. එහෙම කියන හාමුදුරුවරු ඇසුරෙයි මං හැදුනෙ. අද ඉන්න මැර චන්ඩි හාමුදුරුවරු නෙමෙයි එදා හිටියෙ. ගමේ දෙපැත්තෙ තිබුන පන්සල් දෙකේම සංඝාවාසවල තිබුන පුස්තකාල ඕනම වෙලාවක මට විවෘත වෙලා තිබුන.
හේතුවාදය විසින් මගේ ආගම ගැන ගොඩනැගිලා තිබුන අන්ධ විශ්වාස බැහැර කළා. ඒ ඇතුලෙ තියෙන සාරයන්, උවමනාවන් හොයාගෙන යන්න උනන්දු කළා. ආගම නැතුව හේතුවාදයෙන් ඇති වැඩක් නෑ. ආගම සහ හේතුවාදය කියන දෙකම එකට කළ යුතු අධ්‍යනයක්.
ඊට පස්සෙ මං ආධ්‍යාත්මිකත්වය නැත්තං ස්පිරිචුවලිටි කියන පැත්ත ගැන හොයන්න උනන්දු වුනා. හින්දුවාදය මට ඉතාම ආකර්ශනීය එකක් වුනා. පරණ වේදාන්ත නැවත අර්ථකතනය කරමින් එන ශංකරාචාර්ය, විවේකානන්ද, රාමක්‍රිෂ්න මට වෙනම විදිහක සිතීමක් නිර්මාණය කරලා දුන්නා. ඊට පස්සෙ ක්‍රිෂ්නමූර්ති, ඕෂො වගේම යූජී ක්‍රිෂ්නමුර්ති රුසියානු ගුර්ජීෆ් මගේ ජීවිතය වෙනස් කළා.
ස්පිරිචුවල් කියන වචනෙ මූලය වෙන ස්පිරිට් කියන එකේ මුල් තේරුම වෙන්නෙ හුස්ම කියන එක. ඒක ඊට පස්සෙ ආත්මය බවට පෙරලෙනවා. ඊලගට භූතාත්ම බවට පෙරලෙනවා. අරක්කු ඇල්කොහොල් බවට පෙරලෙනවා. ස්පිරිචුවලිටි කියන්නෙ නැවත හුස්ම අතර පැවැත්ම හොයාගෙන යන ගමනට.
විශ්වාසය ඇදහීම එල්බගැනීම වෙනුවට වෙනස් වෙනස් මානයන්ගෙන් තමන්ගෙ අභ්‍යන්තර දොරටු පරීක්ෂා කරන එක මගේ සාධනාව වුනා. තමන්ගෙන් බාහිර ඇත්තක් හොයාගෙන යනවා වෙනුවට බොරුවකින් හෝ තමන්ගේ අභ්‍යන්තර ඇත්තක් නිරාවරණය වෙනවා නම් ඒක දකින්න හුරුවීමයි ආධ්‍යාත්මික අභ්‍යාසය වෙන්නෙ. හැම සත්‍යයක්ම කරුනක්ම ඒ අදාල අවස්තාවට හා පුද්ගලයාට සාපේක්ෂ වෙනවා. බුදුන් ගැන කටකතාවක මෙහෙම එනවා. එක වෙලාවක බමුනො දෙන්නෙක් ඇවිත් බුදුන් මුනගැහෙනවා. එක බමුනෙක් දෙවියො විශ්වාස කරනවා. අනෙකා දෙවියෙක් නෑ කියල හිතනවා.
බුදුනි, දෙවියෙක් නෑ නේද? අදේවවාදී බමුනා අහනවා.
නෑ. දෙවියෙක් කියල කෙනෙක් නෑ. බුදුන් උත්තර දෙනවා. අදේවවාදී බමුනා ගිහින් අනෙකාට කියනවා අන්න බුදුන්ගෙන් අහගනිං. දෙවියෙක් නෑ යකෝ කියල.
දේවවාදී බමුනා දුවගෙන එනවා.
බුදුනි දෙවියෙක් ඉන්නවා නේද? එයා අහනවා.
දෙවියො ඉන්නවා. බුදුන් උත්තර දෙනවා.
ඒ බමුනා උඩ පැන පැන යනවා. දෙවියො ඉන්නවා යකෝ කියල.
බුදුන් උත්තර දෙන්නෙ අහන පුද්ගලයාට. දෙවියෙක් නැති බමුනා තුල දෙවියෙක් නෑ. දෙවියෙක් ඉන්න බමුනා තුල දෙවියෙක් ඉන්නවා. මේ බමුනාගේ ඇත්ත අනෙක් බමුනාට අදාල වෙන්නෙ නෑ. බුදුන්ගෙ දහම ඒ විදිහෙ පර්සනල් එකක්. ඒක පොදු අර්තයකට අරන් කියන කාරනා හැමදෙයක්ම දේශපාලනිකයි. දේශපාලනික කිසි දෙයක් ආධ්‍යාත්මික නෑ.
No comments:
Post a Comment