Wednesday, April 21, 2021

Catwatching!!

 ගෙදර ඇති කරන පූසෙක් කියන්නෙම ප‍්‍රතිවිරෝධයක්. මිනිස්සු එක්ක ඒ තරම් තද බැඳීමක් තියෙන ගමන්ම තමන්ගේ ස්වාධීනත්වය නිදහස එකට පවත්වාගෙන යන වෙන කිසි සතෙක් නෑ. බල්ලා මිනිසාගේ හොඳම යාලුවා වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ හිතුමතේ වත්තෙන් වත්තට හෝ පාරෙන් පාරට ඇවිදින්න යන බල්ලො අඩුයි. කීකරු බල්ලෙක්ව ඇවිදින්න එක්කගෙන යන්න ඔ්න. ඒත් හිත හයිය පූසෙක් යන්නෙ එන්නෙ තනියම. 

පූසෙක් ගත කරන්නෙ දෙබිඩි ජීවිතයක්. ගෙදරදි හාම්පුතුන්ට හුරතල් පූස් පැටියෙක්. ඒත් එලියෙදි ඌ වැඩිහිටි, තමන්ගෙ ලොක්කා තමන්ම වුණු නිදහස් කැලෑ සතෙක්. සූක්ෂමයි, තනිව පවතින්න පුළුවන්. ගෙදර හාම්පුතුන් ගැන මතකයක් හෝ නෑ. මේ හීලෑ හුරතලා ඉඳන් කැලෑ සතා දක්වා ඒ අතට මේ අතට සිද්ද වෙන වෙනස බලන් ඉන්න ලස්සන එකක්. තමන්ගේ හුරතලා සෙක්ස් හෝ වයලන්ස් වෙනුවෙන් සූදානම් වෙන හැටි දැකපු ඔ්නම පූස්පේ‍්‍රමියෙක් මේක දන්නවා. පූසෙක් ආලිංගන ක‍්‍රියාවලියෙ ඉන්ටෙන්සිටි එකට සම්පූර්ණයෙන් බැඳී වෙලී සිටින මොහොතක්. ඒ වෙලාවෙදි ඇස් කොනකින් පූසා දකිනවා තමන්ගේ හාම්පුතා බලාගෙන ඉන්නවා.. මොහොතකට පූසා මේ භූමිකා දෙක අතර වල්මත් වෙනවා. ඊළ`ග මොහොතෙ ඌ අකමැත්තෙන් වුනත් හුරතල් පූස් පැටියාගෙ චරිතයට මාරු වෙනවා. දුවගෙන ඇවිත් හාම්පුතාගෙ කකුල්වල දැවටෙනවා.


ඇති කරන පූසන්ගේ හා බල්ලන්ගේ ඇති වෙනස නිසාම පූස් පේ‍්‍රමින් සහ බලු පේ‍්‍රමීන් අතරත් වෙනස්කම් තියෙනවා. ඒක මූලිකවම නිදහස් සිතීම සහ ක‍්‍රියාව සම්බන්ධ පුද්ගල පෞර්ෂයට බද්ධයි. කලාකරුවන් පූසන්ට පේ‍්‍රම කරන අතර සොල්දුදාවන් බල්ලන්ට පේ‍්‍රම කරනවා. පූසන්ට වගේම පූස් පේ‍්‍රමීන්ටද සාමූහික බැඳීම වගේ දේවල් නුහුරුයි. ඔබ සමූහයක හෝ ගැන්සියක කෙනෙක් නම් කොලු රැුලේ එකෙක් නම් ස්කොඩ් එකට තේරුන අයෙක් නම් ගෙදර පූසෙක් ගුලි වෙලා නිදාගෙන ඉන්න තියෙන ඉඩ අවමයි. ඔබ අභිවෘද්ධිකාමී ජේත්තුකාරයෙක් නම්, අරමුනු හඹා යන දේශපාලකයෙක් නම්' වෘත්තිමය මලල ක‍්‍රීඩකයෙක් නම් ටිපිකල් පූස්පේ‍්‍රමියෙක් නෙමෙයි. ෆුට්බෝල් ක‍්‍රීඩකයෙක් පූසෙක්ව හුරතල් කරනවා මවා ගන්න ටිකක් අමාරුයි. ඊට වඩා එහෙම කෙනෙක් බල්ලෙක් එක්ක ඇවිදින්න යන එක දකින්න ලේසියි. 


- Catwatching-

Desmond Morris

Tuesday, April 20, 2021

My valentine's!!

 අද ආදරවන්තයන්ගෙ දවස......(කාලෙකට කලින් එහෙම දවසක ලියපු එකක්!!)


එකාතකින් මෙහෙම ස්පෙශල් ඩේ එකක් එන එක ගැන මම හරි  සතුටුයි..අද වගේ දවසක අපිට පුලුවන් අපේ ආදර ඉතිහාසෙ ආයේ පාරක් රිවයින් කරන්න..ජීවිතේ අපි කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු දවස්,ආදරෙ කරපු මිනිස්සු,ගෑණු,කවදාවත් අපිට, කියාගන්න බැරුව හිතින් කරපු ඒකපාර්ශ්වික ආදරයන්,සිප වැලදගැනීම්,හිත් බිදීම්,වෙන්වීම්,විදපු විරහ වේදනාවන් සේර්ම මොලේ සේව් වෙලා තියෙන චේම්බර්ස් වලින් ඇදල ඇරන් එකින් එක හිමීට සියුම්ව ආයෙ ආයෙ ඩයිසෙක්ට් කරල බලන්න..


අපි ආයෙ ආයෙ ආදරේ කරනවා..ආයෙ ආයෙ වෙන් වෙනවා..ආයෙ ආයෙ එකතු වෙනවා...වෙලාවකට මට හිතෙනවා මිනිස්සු ජීවත් කරවන හෙට දවසෙ බලාපොරොත්තුව ආදරේ කියල..මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ තමන්ට සීමාවක් නැතුව ආදරේ කරන චරිතයක් ලං කරගන්න..සීමාවක් නැතුව ආදරේ කරන සහකාරයෙක් හොයා ගන්න...සමලිංගික හරි විශම ලිංගික හරි...අපි ආස ගහට පොත්ත වගේ අපිත් එක්ක ඇලුන වෙලුන ජීවියෙක්ට..


මිනිස්සු ජීව්තේ කවදාවත් ආදරෙ කරන එක නතර කරන්නෙ නෑ...හැම වෙන් වීමක්ම අලුත් ආදර කතාවක ඇරඹුමක්.හැම තැවීමකම අන්තිම කෙලවරේ අලුත් කතාවක බලාපොරොත්තුවක් එල්ලිලා තියෙනවා...අලුත් ලියවීමක්...මිනිස්සුන්ට ආදරේ නොකර ජීවත් වෙන්න බෑ..මොකද හදවත ලේ පම්ප් කරාට හිත පම්ප් කරන්නෙ ආදරේ.....!!!!!!!!

"ගෝල්""

 


ජීවිතේ මැරිලා ආයෙ මනුස්සයෙක් වෙලා නැත්තන් සී ක්‍රියේචර් එකක් වෙලා හරි ඉපදෙන්න චාන්ස් එකක් ආවොත් හරි  මම ඉපදෙන්න තෝරගන්නෙ ගෝල්..ගාල්ල......ගාල්ල ඒ තරම් පට්ට බන්...


කෝස්ටල් ස්ට්‍රෙච් එකට දන්න කාලෙ ඉදන් මගෙ කෝමත් පොඩි ක්‍රශ් එකක් තියේ....බීච් සයිඩ්ස් කියන්නෙ මිනිස්සුන්ට දෙයියෝ දීපු තෑග්ගක් කියල මට හිතෙන්නෙ..හිතේ මැරෙන්න හිතෙන තරම් ප්‍රශ්නයක් තිබ්බ වෙලාවට ඩිංගක් වෙරලට ගිහින් හැපෙන,බිදෙන,පෙරලෙන, ආයෙ ආපිට ගහන,පෙන කැටි එක්ක කැලතුන රැලි දිහායි,ඈත මුහුදයි අහසයි එකට හාවෙන ඉන්ෆිනිටි එක දිහායි බලන් ඉදපන්......එකෙන්ම උබට ජීව්තේ මාර රිලැක්ස් එකක් දැනෙයි..ප්‍රශ්නෙට මූන දෙන්න ගට එයි...ඔය ලයිෆ් එකේ තියෙන අනුන්ගෙ එක්පෙක්ටේශන් නැතුව තමන්ගෙ ඇතුලෙ ඉන්න "ඉනර් මී"ව මීට් වෙන්න බීච් එක තරම් වෙන හරියන වාස් ස්පේස් එකක් තව නෑ දොරේ.....


කොහෙද,,කතා කලේ ගෝල් ගැනනෙ..රයිටෝ....


අපර් කෝස්ටල් ඒරියා එක,ඔය මට්ටක්කුලියෙ ඉදන් උඩහට නිගම්බො,චිලව්,පැත්තේ බීචස් මට එච්චර සෙට් උනේ නෑ කවදාවත්..ඒවා මෙලෝ ලස්සනක් නෑ...හවසට ටිකක් දුවන්න කරන්න නම් පට්ට...ඒත් හරි ආටිෆිශල් ෆීලින් එකක් එන්නෙ.....හුගක් තැන් වල අපේ එව්වො කාලා,රීලා,කුනු දාලා වනසල...


ඒ අතින් ඩවුන් සවුත් කියන්නෙ පස්ට..සුරපුරයක්..පානදුර,කලුතර ඉදන් පල්ලෙහාට දුවන බීච් එක ටැන්ගෝල්,හම්බන්තොට හරියට යනකල් ම විදින්න,බලන්න තනිවෙන්න,ලව් කරන්න,හදට යන්න ,ඩයිව් කරන්න මාරයි......නැචුරල් ටොපිකල් අයිලන්ඩ් ෆීලින් එක බොක්කටම සෙට් වෙනවා.......


ගෝල් වල ඉපදිලා, හවසට බීච් බැහැලා,පොඩියට මොනා හරි කරලා,ජොයින්ටෙකක් ගහලා,ජන්ගල් බීච් නයිට් පාටියක් බැහැලා සුද්දෙක්ව සෙට් කරන් ස්ට්‍රෙස් ෆ්‍රී ලයිෆ් එකක් හදාගෙන මැරිලා යන්න මම අද උනත් මගෙ මේ කසඩ ලයිෆ් එක එක්ස්චේන්ජ් කරන්න කැමතියි....මොනා උනත් එහෙම ලයිෆ් එක විදින උන් ගැන මගෙ හිතේ බොක්කෙ රෙස්පෙක්ට් එකක් තියේ.....හැපනින් ටවුන් එහෙක ඉපදුනා නම් ඔයා ඒ ෆන් එක ගන්න ඕනි සාන්ත......


සහනට වෙලා ටී එකක් බිබී සර්ෆ් කරන සෙට් දිහා බලන් මම මගෙයි උනගෙයි ලයිෆ් එක කම්පෙයා කරනවා බන්...සෝ පැතටික්....!!!!!

දුකද?.සතුටද?

 


නිකමට මෙහෙම හිතපන්. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න, ලෝකය ගැන තේරුම් ගැනීම වැඩි වෙන්න වැඩි වෙන්න අපේ දුක වැඩි වෙනවා නේද?
ඒ නිසා මේකට උත්තරේ දැනුම ප්‍රතික්ෂේප කර අපේ bubble එක ඇතුලේ ජීවත් වීමද? උදාහරණයක් කියන්නන්. මගේ යාළුවො අපි හමුවුනහම දේශපාලනය කතා කිරීම තහනම් කරලා තියෙන්නේ. අපි සෙට් උනහම අපි කතා කරන්නේ ප්‍රියංකා චොප්රා ගැන, කොරියන් චිත්‍රපට ගැන. ඒ වගේම මේ කට්ටිය හැමදාම පන්සල් යනවා. හදිස්සියෙවත් මන් බුදු දහම ගැන ප්‍රශ්නයක් ඇහුවම මන් ඒ අයගේ දරුණු හතුරෙක් වෙනවා. මගේ ලෝකය ගත්තොත් එහෙම, මට හැමදාම හිතෙන්නේ මන් කිසි දෙයක් දන්නේ නැහැ කියල. මේක පුදුම ආතතියක් මට. මට කවදාවත් මගේ දැනුම පරිපූර්ණයි කියල දැනෙන්නේ නැහැ. මේක ඇත්තටම හිතුවොත් මන් කිසි තේරුමක් නැතුව මගේ ජීවිතය දුකට ලක් කරගෙන නේද? ඇත්තටම මන් කල්පනා කළේ ඒ අයත් එක විදිහකට තමන්ගේ මතවාද දරුණු පරීක්ෂාවකට ලක් කරලා අදහස් වෙනස් කිරීමේ දුකෙන් මිදිලා තමන්ගේ ම ලෝකයේ සතුටෙන් ජීවත් වීමක් නේද බලාපොරොත්තු වෙන්නේ? ඒක හරි ද?

මීට වඩා තව එකක්. සමහර විද්‍යාඥයෝ ඉන්නවා ඔය න්‍යෂ්ටික විද්‍යාව ගැන පර්යේෂණ කරපු. ඒ අය හොඳටම දැනගෙන හිටිය විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා ඒ අයගේ ජීවිතය කෙටි වෙනවා කියල. නමුත් ඒ අය ඒ දැනගෙන ම ඒ පර්යේෂණවල නියැලුනා.
චේ ගුවේරා ගන්න. දොස්තර කෙනෙක් නේ. හැබැයි ඔක්කොම අතඇරලා දාල වෙනත් රටක විප්ලවයක් කරන්න ගිහින් වෙඩි කාලා මැරුණා.
ආදරය ම ගන්න. එක සහකාරියක්/සහකරුවෙක් එක්ක ජීවිත කාලෙම එකට ජීවත් වීම දුකක් නෙවේ ද? ආදරය අහිමි වෙන බව දැන දැන ආදරය කරන අය?
අපි අපේ ජීවිතය දුකට පත් කරගන්න එක නේද ජීවිතය පුරාවටම කරගන්නේ? ඇත්තටම හිතල බැලුවොත් "නියම ම" සතුට තියෙන්නේ මේ දුක ඇතුලේ හැංගිලා නේද? දුක නැති සතුට තේරුමක් නැහැ නේද? මට නං ඇත්තටම තේරෙන්නේ නැහැ දරුවෝ හදාගෙන දුක් විඳින අයගෙයි, ඉපදිච්ච නිසා ම ජීවත් වෙන අපෙයි වෙනස.

Luv!

 කෙනෙකුට ජීවිතේට එකම එක වතාවක් එයාගෙ මුලූ ලෝකෙම අනෙක් පැත්ත පෙරලන්න පුළුවන් කෙනෙක් මුනගැහෙනවා කියල මං විශ්වාස කරනවා. ඔයා ජීවිතේට කාටවත් නොකියපු දේවල් එයත් එක්ක ෂෙයාර් කරගන්නවා. එයා හැමදෙයක්ම අහගෙන ඉන්නවා. තව තවත් දේවල් අහන්න ඕන වෙනවා. ඔයා එයත් එක්ක කතා කරනවා අනාගතේ බලාපොරොත්තු ගැන.. කවදාවත් ඇත්ත නොවුනු හීන ගැන.. දිනාගන්න බැරි වුනු අරමුනු ගැන.. ජීවිතේ මුනදුන්නු පරාජයන් ගැන.. මොකක් හරි ලස්සන දෙයක් සිද්ද වුනු ගමන් ඔයාට ඉවසිල්ලක් නෑ ඒක එයා එක්ක බෙදාගන්න කල්. මොකද ඔයා දන්නවා ඒක අහන් ඉඳලා ඔයාට දැනෙන තරම්ම එක්සයිට්මන්ට් එකක් එයාටත් දැනෙන වග. ඔයාට දුක හිතුන වෙලාවට ඔයත් එක්ක අඩන්න, ඔයා මෝඩ වැඩකරද්දි ඔයා එක්ක හිනාවෙන්න එයා ලැජ්ජා වෙන්නෙ නෑ. කිසිම දවසක එයා ඔයාව රිද්දන්නෙ නෑ. ඔයා මදි වගේ වගේ හැගීමක් දෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා ඔයාව අලූතෙන් නිර්මානය කරනවා. ඔයා කොයිතරම් විශේෂද කොයිතරම් ලස්සන ජීවිතයක්ද කියල ඔයාට පෙන්නලා දෙනවා. එයා ළ`ග ඉන්නකොට කොයිම වෙලාවකවත් ආතතියක්, ඉරිසියාවක්, තරගයක් ඔයාට දැනෙන්නෙ නෑ. ඒ වෙනුවට හරිම නිශ්ශබ්ද සංසුන්බවක් හැමදේකම දැනේවි. ඔයාට එයා ඉස්සරහ ඔයා විදිහටම පවතින්න පුළුවන්. මොකද එයා ආදරේ කරන්නෙ ඔයා ඔයා විදිහටම ඉන්න කොට. ගොඩක් අයට කිසිම වටිනාකමක් නැති පුංචි නෝට් එකක්, සිංදුවක්, ඇවිදින්න ගිය ගමනක් ඔයාගෙ හිතේ හැමදාම රස විඳින මතකයක් විදිහට ඉතුරු වෙයි. පුංචි කාලෙ මතක අලූත් වෙවී ඔයා තව තරුණ වෙයි. හැම පාටක්ම වෙනදට වඩා පාට වැටිලා පෙනේවි. දවස පුරාම තේරුමක් නැති වුනත් මූනෙ හිනා පිරිලා තියෙයි. එක ෆෝන් කෝල් එකකින් නැත්තං දෙකකින් දවසෙ හැම ප‍්‍රශ්නයක්ම අමතක වෙලා සැහැල්ලූ හිනා ඇඳෙයි. ඒ වගේ අයත් එක්ක ඉන්න කොට දිගට කතා කරගෙන යන්න ඕන නෑ. ළ`ගින් ඉඳගෙන ඉදීමම විතරක් හැමදෙයක්ම සම්පූර්ණ කරාවි. ඔයා කවදාවත් ආස කරපු නැති දේවල් වලට ඔයා මේ මුනගැසීම නිසා ආස වෙන්න ගනීවී. හැම දේකදිම, හැම මොහොතකදිම හිතේ එයා ගැන සිතුවිල්ලක් රැුදේවි. හිස් නිල් අහසට, හීන් හුළ`ගකට, පාවෙන වැහි වලාකුලකට වගේ නොවැදගත් දේකට වුනත් පුළුවන් මේ සිතුවිලි මතක් කරලා දෙන්න. කවදාක හරි හදවත බිඳෙන රිදෙන වග දැන දැන වුනත් ඔයා සම්පූර්නයෙන්ම විවෘත වේවි. ඒ ආදරය ඒ තරම්ම ප‍්‍රහර්ශයක් නිසා. මේ විශ්වයේ වල්මත් වෙලා පාවෙන්න අරින එක තමයි මේ සැබෑ තෘප්තිය විඳින්න හොඳම මාර්ගය කියල ඔයා තේරුම් ගනීවි. ඒක කොයිතරම් බයානකද කියල ඔයා ඇත්තට බයවේවි. ඒත් ජීවිත කාලෙ පුරාම ළ`ග ඉන්න ඇත්ත යාලූවෙක්, සෝල්මේට් කෙනෙක් ඔයාට ඉතුරු වෙනවා කියන හැගීමෙන් ඔයා ශක්තිමත්ව මූනදේවි. ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක ජීවත්වෙන්න වෙන්න ආස හිතෙන තරම් ආස්වාදනීයයි. ඔයාගෙ එකම බලාපොරොත්තුවත් ආරක්ෂාවත් වෙන්නෙ එයා හැමදාම ඔයාගෙ ජීවිතේ ඇතුලෙ ඉන්නවා කියන දැනීම විතරයි.


-බොබ් මාලේ- (KalaNa Gihantha page eken)

ආගම පෞද්ගලිකයි!

 ආගම පෞද්ගලිකයි!


සාමාන්‍යයෙන් විද්‍යාඥයෙක් එයාගෙ පර්යේෂණයක් වෙනුවෙන් අවුරුදු ගානක් කැප කරනවා. ලැබ් එක ඇතුලෙ වෙන්න පුළුවන් වෙන සමාජ පරිසරයක වෙන්න පුළුවන් එක දිගට තමන්ගේ විෂය ගැන පර්යේෂණ කරනවා. ඒ වගේම තවත් මිනිස්සු පිරිසක් තමන්ගෙ මනස ගැන පර්යේෂණ කරනවා. ඒ ගොල්ලො ගල්ගුහාගත වෙලා වනාන්තරගත වෙලා අවුරුදු ගනං මිනිස් ඇසුරක් නැතුව තමන්ගේ ඇතුලටම ගමන් කරනවා. මිනිහෙක් සියලු සමාජ සම්බන්ධතා නැත්තං සාමූහික නොයිස් එකෙන් දුරස් වුනොත් මොනවා වෙයිද? අනිවාර්යෙන්ම සාමාන්‍ය සමාජය ඇතුලෙ ජීවත්වෙන මිනිහෙකුට වඩා හුදකලාවේ තමන් ඇතුලට ගවේෂනය කරන මිනිහෙකුට සවිඥානකත්වයේ ගැඹුරු තලයන් මුනගැහෙනවා. සමහරු පිස්සො වෙනවා. තවත් සමහරු මුනිවරු වෙනවා.

මිනිහෙක් ඇස් වහගෙන තමන් ඇතුලට යොමුවෙන භාවනාවක් කරද්දි මුලින්ම තේරුම් ගන්න දේ තමයි තමන්ගේ මනස කොයිතරම් කුනුගොඩක්ද කියන එක. පිටකොටුවෙ මාර්කට් එකට වඩා ගෝෂාවක් කියන එක. ඒ කිසි දෙයක් තමන්ගේ පාලනයෙන් තොරයි සහ තමන් ඒ හැගීම් සිතුවිලි සංවේදනා අතර ඒ අතට මේ අතට ගහගෙන යනවා කියන එක. පලවෙනි වතාවට භාවනාවක් කරන්න උත්සාහ ගන්න මනුස්සයෙක් බය වෙනවා තමන්ට පිස්සු හැදීගෙන එනවා කියන තරමට. අපිට දැනෙන විශිෂ්ටතම පරිකල්පනයක් සිතුවිල්ලක් පවා අපේ නිහඩබවට බාධා කරනවා. අපිව වහල් කරගන්නවා. සෙන් අභ්‍යාසවලදි ඔබේ මගේදි බුදුකෙනෙක් මුනගැහුනොත් මරා දමන්න කියන්නෙ මේ අදහසින්.

හැම ආගමක්ම ඉපදෙන්නෙ මේ මනස් ගැඹුරෙ සත්‍යය ගවේෂනය කිරීමේ ප්‍රවේශයක් විදිහට. ඒත් කිසිම ආගමක් ආයතනගත වුනාට පස්සෙ මේ සත්‍යය ශේෂ වෙන්නෙ නෑ. ඒවා නටඹුන් විතරයි. බුද්ධාගමේ අපි මේ අභ්‍යන්තර මනස ජයගන්නා අයට බුදුවරුන් කියනවා. මෙතනදි ජයගන්නවා කියන අදහසම අපිව මුලා කරන්න ඉඩ තියෙනවා. ජයගන්න කිසි දෙයක් නෑ, පවතින්න විතරයි තියෙන්නෙ. ගමන් කරන්න ගමනාන්තයක් නෑ, ගමන නතර කරන්නයි තියෙන්නෙ.

ලෝකෙ බුද්ධාගම ඉතුරු වුනා කියන ලංකාවෙ කිසිම දවසක බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ කියන එකයි මගේ විශ්වාසය. තමන්ගේ මනස ගවේෂනය කිරීම කියන අර්තයෙන් බුද්ධාගම වෙනස් වෙලා ගොඩක් කල්. අපිට ඉතුරු වෙලා තියෙන්නෙ දැනුම විදිහට කටපාඩම් කරපු ලංකාවෙ ව්‍යවස්තාව වගේ ඕනම අර්තයකට හරවන්න පුළුවන් කරුණු තොගයක් විතරයි. ඇදහිල්ලක්, ගැලවීමේ මාර්ගයක්, සම්ප්‍රදායක් විතරයි. මේ සියල්ලෙන්ම ඒ අවශ්‍ය අභ්‍යන්තර ගවේෂනය වලක්වනවා. රවට්ටනවා. ඒවා ජාතිය ආගම බවට පෙරලනවා.

ලෝකෙ මේ මොහොතෙත් බුදුවරුන් බිහිවෙමින් ඉන්නවා. ඒ බුදුවරුන් බහුතරයක් බිහිවෙන්නෙ බටහිරෙන්. බටහිර ආගම් අතර පර්යේෂන කරමින් විවිධ ආධ්‍යාත්මික සාරයන් හොයාගෙන යන ඒ වගේම අදේවවාදය, විද්‍යාව වගේ කාරණා මගින් මිත්‍යාව හරණය කරන ප්‍රවේශයන් ගන්න අය. ආගම වෙනුවට නැවත පුද්ගල ආධ්‍යාත්මය කියන කාරණය විෂය කරගන්නා අය.

මං පොඩි කාලෙ හැදුනෙ ඉතාම දැඩි බෞද්ධ පරිසරයක. පන්සල කියන්නෙ මට ගෙදරට වඩා හුරු තැනක්. මගේ ජීවිතේ වීරයා වුනේ සිද්ධාර්ථ. ඒ ආගමික නැඹුරුව විසින් මට දීපු පරිකල්පනයට, ඒ වගේම භෞතිකය ඉක්මවූ යමක් ගැන විශ්වාසයට, සාමූහික මිනිස් සංස්කෘතියට මං අදත් ගරු කරනවා. යෝද බුදු පිලිමයක් පාමුල කුඩාවට දැනෙන මගේ පැවැත්ම පිලිබඳ හැගීම මට අදටත් වටිනවා. ඒ මගේ ජීවිතේ මං ලබපු ලොකුම වත්කම.

ඊට පස්සෙ මං ගියා හේතුවාදයට. සියලු ආගමික විශ්වාසයන්ට පහර දෙන අන්තයට. ඒබ්‍රහම් ටී කොවුර් කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලකුනක් වුනා. පන්සලේ දහම් පාසැල් සමිතියෙ මං කොවුර්ගෙන් ඉගෙන ගත්ත ප්‍රශ්න කිරීම් කළා. පන්සල් කඩලා දාලා පොඩි උන්ට සෙල්ලම් පිට්ටනි හදන්න ඕනා කියල මං කියද්දි මං දහය වසරෙ විතර ඇති. අහන් ඉන්න මිනිස්සු කුපිත වෙද්දි හාමුදුරුවරු හිනාවෙවී මගේ ඔලුව අතගෑවා. තව දුරට හිතන්න, අපි කියන දේ ඒ විදිහට බාරනොගෙන ප්‍රශ්න කරන අලුත් පරම්පරාවක් ඉන්න එක කොච්චර හොඳද.. එහෙම කියන හාමුදුරුවරු ඇසුරෙයි මං හැදුනෙ. අද ඉන්න මැර චන්ඩි හාමුදුරුවරු නෙමෙයි එදා හිටියෙ. ගමේ දෙපැත්තෙ තිබුන පන්සල් දෙකේම සංඝාවාසවල තිබුන පුස්තකාල ඕනම වෙලාවක මට විවෘත වෙලා තිබුන.

හේතුවාදය විසින් මගේ ආගම ගැන ගොඩනැගිලා තිබුන අන්ධ විශ්වාස බැහැර කළා. ඒ ඇතුලෙ තියෙන සාරයන්, උවමනාවන් හොයාගෙන යන්න උනන්දු කළා. ආගම නැතුව හේතුවාදයෙන් ඇති වැඩක් නෑ. ආගම සහ හේතුවාදය කියන දෙකම එකට කළ යුතු අධ්‍යනයක්.

ඊට පස්සෙ මං ආධ්‍යාත්මිකත්වය නැත්තං ස්පිරිචුවලිටි කියන පැත්ත ගැන හොයන්න උනන්දු වුනා. හින්දුවාදය මට ඉතාම ආකර්ශනීය එකක් වුනා. පරණ වේදාන්ත නැවත අර්ථකතනය කරමින් එන ශංකරාචාර්ය, විවේකානන්ද, රාමක්‍රිෂ්න මට වෙනම විදිහක සිතීමක් නිර්මාණය කරලා දුන්නා. ඊට පස්සෙ ක්‍රිෂ්නමූර්ති, ඕෂො වගේම යූජී ක්‍රිෂ්නමුර්ති රුසියානු ගුර්ජීෆ් මගේ ජීවිතය වෙනස් කළා.

ස්පිරිචුවල් කියන වචනෙ මූලය වෙන ස්පිරිට් කියන එකේ මුල් තේරුම වෙන්නෙ හුස්ම කියන එක. ඒක ඊට පස්සෙ ආත්මය බවට පෙරලෙනවා. ඊලගට භූතාත්ම බවට පෙරලෙනවා. අරක්කු ඇල්කොහොල් බවට පෙරලෙනවා. ස්පිරිචුවලිටි කියන්නෙ නැවත හුස්ම අතර පැවැත්ම හොයාගෙන යන ගමනට.

විශ්වාසය ඇදහීම එල්බගැනීම වෙනුවට වෙනස් වෙනස් මානයන්ගෙන් තමන්ගෙ අභ්‍යන්තර දොරටු පරීක්ෂා කරන එක මගේ සාධනාව වුනා. තමන්ගෙන් බාහිර ඇත්තක් හොයාගෙන යනවා වෙනුවට බොරුවකින් හෝ තමන්ගේ අභ්‍යන්තර ඇත්තක් නිරාවරණය වෙනවා නම් ඒක දකින්න හුරුවීමයි ආධ්‍යාත්මික අභ්‍යාසය වෙන්නෙ. හැම සත්‍යයක්ම කරුනක්ම ඒ අදාල අවස්තාවට හා පුද්ගලයාට සාපේක්ෂ වෙනවා. බුදුන් ගැන කටකතාවක මෙහෙම එනවා. එක වෙලාවක බමුනො දෙන්නෙක් ඇවිත් බුදුන් මුනගැහෙනවා. එක බමුනෙක් දෙවියො විශ්වාස කරනවා. අනෙකා දෙවියෙක් නෑ කියල හිතනවා.

බුදුනි, දෙවියෙක් නෑ නේද? අදේවවාදී බමුනා අහනවා.

නෑ. දෙවියෙක් කියල කෙනෙක් නෑ. බුදුන් උත්තර දෙනවා. අදේවවාදී බමුනා ගිහින් අනෙකාට කියනවා අන්න බුදුන්ගෙන් අහගනිං. දෙවියෙක් නෑ යකෝ කියල.

දේවවාදී බමුනා දුවගෙන එනවා.

බුදුනි දෙවියෙක් ඉන්නවා නේද? එයා අහනවා.

දෙවියො ඉන්නවා. බුදුන් උත්තර දෙනවා.
ඒ බමුනා උඩ පැන පැන යනවා. දෙවියො ඉන්නවා යකෝ කියල.

බුදුන් උත්තර දෙන්නෙ අහන පුද්ගලයාට. දෙවියෙක් නැති බමුනා තුල දෙවියෙක් නෑ. දෙවියෙක් ඉන්න බමුනා තුල දෙවියෙක් ඉන්නවා. මේ බමුනාගේ ඇත්ත අනෙක් බමුනාට අදාල වෙන්නෙ නෑ. බුදුන්ගෙ දහම ඒ විදිහෙ පර්සනල් එකක්. ඒක පොදු අර්තයකට අරන් කියන කාරනා හැමදෙයක්ම දේශපාලනිකයි. දේශපාලනික කිසි දෙයක් ආධ්‍යාත්මික නෑ.

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

 


මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග්‍රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළුවන් කියලා එහෙම නැත්තං මගේ ජීවිතය තුළ කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ කියලා. වෙන්න පුළුවන් සිදුවීම් වශයෙන් එතන තේරුම් ගන්න තියෙන්නෙ ඔය දෙක විතරයි. මට හිතෙනවා ගැඹුරුම අර්ථයේ දී වුණත් ග්‍රහලෝකයකින් එකෙන් ආ එක ගැන ඔබ පුදුම වෙනවනම් ඒ හිමිදිරියේම තණපත් මත දිලිසෙන පිණි කැට වලටත් , ඔහෙ ගහකින් කොලයක් ගිලීහි වැටෙන කොටත් එක හා සමානව පුදුම විය යුතුයි කියලා. මම හිතන්නේ මගේ මේ තත්වය ඇති වෙන්න තවත් හේතුවක් තමයි මොනාහරි වෙනකොට පුදුම වෙන්න කලින්, කොච්චර අසාර්ථක මට්ටමින් හරි, මම ඒක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න උත්සහ කරන එක. ඒත් සමහර වෙලාවල් තියෙනවා කිසිම දෙයක් තේරුම් ගන්න යන්නේ නැතුව මම මොකටද මේ හැම මගුලක්ම තේරුම් ගන්න හදන්නේ කියලා පුදුම වීමයි තේරුම් ගැනීමයි දෙකම අත්හැරලා දාන.

ඒ විදිහට පුදුම නොවීම නිසා වාසි අවාසි දෙකම තියෙනවා. මට හමුවෙලා තියෙන එක වාසියක් නම් ඔබට මිනිස්සු ගැන කේන්තිය වෛරය වගේ දේවල් හරිම අඩුවෙන් ඇතිවෙන්නෙ. ඒ වගේම ඕනෑම දෙයක් අත්හැර දාන්නත් හරිම පහසුයි. නැතිවුන දේවල් ගැන ද ඒ තරම් කණගාටුවක් ඇති වෙන්නේ නෑ.

කණගාටුව නම් , එදිනෙදා ජීවිතය ඇදගෙන යන්න අවශ්‍ය නිසාම පුදුමවීම පෙන්වා මිනිසුන් රවට්ටන්න සිද්ධ වෙලා තිබීමයි. මම දැනුවත්වම කරන ලොකුම බොරුව ඒක .මම සමහර අවස්ථාවල බොරුවට සතුට සහ කණගාටුව පෙන්නනවා. ඒ කියන්නේ ඒ ගැන මගේ ඇතුළෙන් එන හැඟීමත් මට කියන්න ඕන දේත් ඒක නෙමෙයි. ඒක කාගෙ හරි මරණයක් වෙන්නට පුළුවන් මඟුලක් වෙන්න පුළුවන්. මිනිස්සු ඉපදෙන එකට වගේම මැරෙන එකටත් මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. නමුත් මේකෙ ඉන්න නම් ඒ හැම දේකටම මටත් මොනවා හරි ප්‍රතිචාරයක් පෙන්නන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ ඒ වගේ ලෝකයේ සිදුවන සෑම සිදුවීමකට ම මට හැඟීමක් ඇති නොවීම මගේ වරදක් කියලා. මට ඒක පාලනය කරන්න බෑ. නමුත් මම සමහර වෙලාවලට බොරුවට හැඟීම් පෙන්නනවා මොකද එහෙම නැත්නම් ඇතිවෙන විශාල ව්‍යකූලතාවයට මගේ අහිංසකත්වය සමග මූණ දෙන්න මට ශක්තියක් නැති නිසා. මිනිසුන්ට අනුව මම නරුමයෙක් නෙමෙයි කියලා පෙන්නන්ඩ මහන්සි වෙනවට වඩා ඒක හරිම ලේසියි.

දරන්න අමාරු දේ තමයි මිනිස්සු කරන කියන දේවල් වලට බොරු හැඟීම් පෙන්වලා ඔවුන් රවටා ජීවත්වීමට සිදුවීමයි. මිනිස්සු කරන දේවල් වලට පුදුමය පෙන්වීම ඔවුන්ගේ සිරිත් විරිත් වලට යුද, ක්‍රීඩා සහ පුද්ගලික ජයග්‍රහණවලට මාරයි කීම. ඔවුන්ගේ ඇගයීම් වලින් සිහිනැතිවන තත්ත්වයට පත්වීම. මිනිස්සු කරන ඒ වගේ දේවල් වලින් ඔබ කොයිතරම් කලබලයට සහ පුදුමයට පත් වෙනවා ද කියන එකයි ඔවුන් නිතරම බලාපොරොත්තු වෙන්නේ.

මම හිතන්නේ අඩුවැඩි වශයෙන් සෑම මනුස්සයෙක්ම ජීවත් වෙන්නේ තමන්ට දැනෙන්නේ නැති තමන්ට අවශ්‍ය නැති දේවල්වලට පුදුමය සහ කැමැත්ත පෙන්වා ජීවත්වීමේ බොරුවෙන්. කොටින්ම ජීවිතය කියන්නෙම ඒ බොරුවට සහ වංචාවට. නැවත නැවතත් දරා ගන්න බැරි එකම දේ මේ විශාල බොරුවයි. ජීවිත කාලයක් මේ බොරුවෙන් සහ වංචාවෙන් ජීවත් වෙන මිනිසෙකුගේ ජීවිතය ගැන ඔබට හිතාගන්න පුලුවන්ද? මම පුළුවන් හැම විටම ඒ වගේ බොරුවකින් මාව නං ඇසුරු කරන්න අවශ්‍ය නෑ කියල මම මිනිසුන්ව නිදහස් කරනවා, ඔවුන්ට මං වෙනුවෙන් දැනෙන් නැති දේවල් දෙන්ඩ බැරි දේවල් අපේක්ෂා නොකර, ඒ මත ඔවුන්ගේ හොඳ නරක විනිශ්චය නොකර. එතකොට මම මේ ලියන්නේ ඇයි කියලා කවුරුහරි අහයි. මම ලියන කරන හැම දේකම වගේ සැඟවිලා තියෙන්නේ මේ මහා බොරුවෙන් සහ වංචාවෙන් අපව ගලවා දෙන්න කියන ආයාචනයයි.

හොඳ මනුෂ්‍ය ඇසුරකට ආදරයකට එකිනෙකා වැළඳ ගන්න ඒ වගේ දැනෙන් නැති දේවල් වලට බොරු කරන්න අවශ්‍ය නැති බව තේරුම් ගත්ත මිනිසුන්ටනම් මම ගොඩක් කැමතියි. ඒ යථාර්ථය තේරුම් ගැනීමෙන් මේ කැඩී බිඳී කුඩුපට්ටම් වෙලා ගිය ලෝකයේ මනුෂ්‍ය සම්බන්ධකම් වලට යම් අර්ථයක් සුන්දරත්වයත් ගෙනෙන්න පුළුවන් බව මම තාමත් විශ්වාස කරනවා.

මම හිතන්නේ මේ ජීවිතයේ කලබල වීමට හෝ පුදුම වීමට කිසිවක් නෑ, ඇත්තේ වටහා ගැනීමට පමණයි!

ආතල් නොකැඩෙන ජීවිතේකට ස්ටොයික් පුහුණුව

 


මගේ ජීවිතේ මං ප‍්‍රැක්ටිස් කරන්න උත්සාහ කරන දර්ශනයක් තමයි ස්ටොයික්වාදය. ස්ටොයිසිසම් කියල කියන්නෙ. මේක ග‍්‍රීසියෙ ඇතන්ස්වලින් පටන් ගන්නෙ සීනො කියන දාර්ශනිකයගෙ අදහස් එක්ක. සීනො එයාගෙ වෙළදාම් පාඩුවෙලා කෙලවෙලා ඉන්නකොට ඇතන්ස්වල අනිත් දාර්ශනිකයන්ගෙ අදහස්වලින් ඉන්ස්පයර් වෙනවා.

හැමෝටම සොක‍්‍රටීස් වෙන්න බෑ. ඒත් අඩුම ගානෙ සොක‍්‍රටීස් කෙනෙක් වෙන්න ට‍්‍රයි කරන්න.

සීනො කියනවා. එයා එයාගෙම සිතීමක් පටන් ගන්නවා.
ජීවිතය හැඩගස්වාගන්න උදව් වෙන්නෙ නැති දර්ශනවාද නිකං වචන හරඹ විදිහට සීනො දකිනවා. එයාට ඕන වෙන්නෙ ජීවිත දර්ශනයක්. අපේ ප‍්‍රායෝගික ජීවිතය වෙනස් කරන සිතීමක්. පෙරදිග විදිහට කිව්වොත් දුකෙන් මිදෙන විමුක්ති මාර්ගයක්.

ප්ලේටොට ඇකඩමියාව පටන් ගන්නත්, ඇරිස්ටෝටල්ට ලයිසියමය පටන් ගන්නත් පුළුවන් වුනාට සීනොට එහෙම එකකට වත්කමක් නෑ. එයා එයාගෙ සංවාදය පටන් ගන්නෙ මාර්කට් එකේ. අගොරාවෙ. හැමදෙයක්ම හොඳටම විකිනෙන්න ගනුදෙනු කරන තැන එයා ජීවිතේ ගැන දාර්ශනික ගනුදෙනු කරනවා. එයාගෙ සංවාද සිද්ද වෙන්නෙ පෝර්ටිකෝවක. ඒකට කියපු වචනෙ ස්ටොආ. එතන ඉපදෙන දර්ශනය ස්ටොයික්වාදය.
ස්ටොයිකයෙක් කිව්වම සතුටක් දුකක් අතර වෙනසක් නැතුව ගල්ගෙඩියක් වගේ ඉන්න අදහසක් තමයි භාෂාවෙ දීලා තියෙන්න. ඒත් ඒක එහෙම නෙමෙයි.

ස්ටොයික් කියන්නෙ වෙන දෙයක් වෙන්න ඉඩදීලා හරකෙක් වගේ බලා ඉන්න එක නෙමෙයි. සිද්ද වෙන දේවල් වලට අන්ධයෙක් ගොලූවෙක් බීරෙක් වගේ ඉන්න එකත් නෙමෙයි. මූලිකවම ප‍්‍රතික‍්‍රියාකාරී ජීවිතෙන් ගැලවෙන එක. එලියෙ තියෙන දේවල්වලින් අපේ ඇතුලෙ සාමය බාධා කරන එක නවත්තන පුහුණුවක් ඒක.

සීනො ඇරුනම සෙනෙකා, මාර්කස් ඔරේලියස්, එපික්ටේටස් වගේ දාර්ශනිකයො මේ ඉස්කෝලෙ හැදෙනවා. ඒ ගොල්ලො මේකට සීනොසිම් නැත්තං සීනොවාදය වගේ නමක් නොතියන්නෙම එහෙම කල්ට් වීරයෙක් හදන්න ඒ ගොල්ලො අකමැති වෙන හින්ද.

ස්ටොයික්වාදීන් ලෝකෙ දේවල් පාලනය කළ හැකි සහ පාලනය කළ නොහැකි කියල කාන්ඩ දෙකකට බෙදාගන්නවා. අපි නිතර කනස්සලූ වෙන්නෙ පාලනය කළ නොහැකි දේවල් ගැන දුක්වෙන හින්ද. ඒ වෙනුවට තමන්ගේ පාලනයේ පවතින දේවල් ගැන විතරක් වෙහෙසෙන්න ස්ටොයික්වාදය යෝජනා කරනවා.

උදා විදිහට අපේ ධනය, පිලිගැනීම, රූපය වගේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා ඇතිවෙනවා, නැති වෙනවා. ඒත් අපිට පුළුවන් ඒවා ගැන අපේ ඇටිටියුඞ් එක පාලනය කරන්න. අපිව දුකට පත් කරන්නෙ සිදුවීම් නෙමෙයි ඒවා ගැන අපිට තියෙන පර්ස්පෙක්ටිව් එක. නැත්තං අපි ඒවා දිහා බලන කියවන විදිහ. දුප්පත්කම පෝසත්කම කියන්නෙ සල්ලි උඩ තීරනය වෙන දෙයක් නෙමෙයි. ඒක අපේ ඇටිටියුඞ් එකක්.

කාලෙකට කලින් ලලිත් කොතලාවල එයාට එයාගෙ තාත්තා කියල දුන්න ස්ටොයික් උපදේශයක් ඉන්ටවිව් එකක කියලා තිබුන. ඒක ස්ටොයික් කියල හඳුන්වලා තිබුනෙ නෑ. එයා කියනවා, කුලප්පු වුන හරකෙක් නවත්තන්න උත්සාහ කරන්න එපා. ඌට නගුලක් හයි කරගන්න විදිහක් බලන්න කියල. පාලනය කළ නොහැකි දේ ගැන වද වෙනවා වෙනුවට පාලනය කළ හැකි දෙයින් හොඳ ප‍්‍රතිඵල අත්පත් කරගැනීමේ ස්ටොයික් ඇටිටියුඞ් එක ඒකයි.

මේක දුනුවායෙක් ඇසුරෙන් හරි ලස්සනට කියනවා. දුනුවායාට එයාගෙ ඈත ඉලක්කය ගැන කරන්න දෙයක් නෑ. ඒක වෙනස් කළ හැකි දෙයක් නෙමෙයි. දුනුවායා වෙහෙසෙන්නෙ එයාගෙ අතේ තියෙන දුන්න ගැනයි. ඒ දුන්නේ සහ ඊතලයේ උපරිමය ගැනයි. තමන්ගේ දුනුදියෙන් මිදුනු මොහොතේ පටන් දුනුවායාට එහි කළ හැකි දෙයක් නෑ. ඉතිරිය බාරගැනීමයි. ඕනම දුෂ්කරතාවයක් සතුටින් බාරගැනීමයි.

මේක තමයි බුද්දාගමේදි අපිට මගඇරෙන තැන. ජීවිතේ දුකයි අනිත්‍යයි කියල හිතෙන තැන. ස්ටොයිකයො අපිට අනිත් පැත්ත බලන්න යෝජනා කරනවා. ඒක ගැන හිතලා දුක් වෙන්න නෙමෙයි මේක ගැන හිතලා සතුටුවෙන්න කියනවා. මෙතන රෝසමල මෙතන නටන්න කියනවා.

ජීවිතේ අපි බයම දේවල් නැවත නැවත මෙනෙහි කරන්න කියල ස්ටොයිකයො කියනවා. අපි මරණයට බය නම් මරණයත් එක්ක ජීවත්වෙන්න පටන් ගන්න. මරණය ජීවිතේ තේරුමක් නැති කරනවා නෙමෙයි. ජීවිතේට තේරුමක් හදනවා. අපි බයම දේ ඇතුලෙ හිතෙන් ජීවත් වීම විසින් අපිට ඒ දේ ගැන පෙරසූදානමක් ඇති කරනවා. බාරගැනීමකට ඉඩක් දෙනවා. එතකොට ඒ වෙලාවෙදි අපි යම්තාක් දුරට ඇතුලෙන් ලෑස්තියි. ඉතිරි බාහිර සිදුවීම විතරයි.

කේටො කියන්නෙ හොඳටම සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප වුනු, අවලාද අපහාස නැගුනු ස්ටොයිකයෙක්. මං ගොඩක් වෙලාවට කේටොව නැවත නැවත කියවනවා. නැගෙන අවලාද අපහාස අතරින් ලැජ්ජා විය යුතු සහ ලැජ්ජා නොවිය යුතු දේ තෝරගන්න කියල කේටො මතක් කරනවා. අනෙක් අතට අපහාස කරන්නන්ට ස්තුතිවන්ත වෙන්නත් මතක් කරනවා. ඒ අපිට දරාගැනීම නැත්තං ටොලරන්ස් කියන එක පුහුණු කිරීම වෙනුවෙන්.

අපි කවුරුත් අපිට නැගෙන විවේචන තරම් නරකත් නෑ. ප‍්‍රශංසා තරම් හොඳත් නෑ.

ස්ටොයික් කියන්නෙ උපරිමයෙන් ජීවත්වීම ගැන. දුක නැති කිරීම ගැන. වොරි විය යුතු දේ නොයුතු ගැන. පරාජය ස්වභාවිකයි. පසුතැවිල්ල මෝඩයි.

ලොකු දේවල් කරන්න හදනවා වෙනුවට පුංචි දේවල් ගැන අවධානය යොමු කරන්න කියන එකත් හොඳ ස්ටොයික් භාවනාවක්. පුංචි දෙයක් කාලයක් තිස්සෙ කිරීමෙන් ලොකු වෙනසක් නිර්මාණය කරන්න පුළුවන්. මට මතක් වෙන්නෙ තර්කොව්ස්කිගෙ සැක‍්‍රිෆයිස් ෆිල්ම් එක. ඒකෙ ප්‍රොෆෙසර් තමන්ගෙ පුංචි පුතා එක්ක ගහක් හිටවනවා. ඒ ගහට හැමදාම වතුර දාන්න කියනවා. ඒ අලූතෙන් එකතු වෙන පුංචි පුරුද්ද ලෝකෙ වෙනස් කරාවි කියල පොඩි එකාට කියල දෙනවා.

එපික්ටේටස් කියන්නෙ වහලෙක් වෙලා ඉඳලා නිදහස ලබපු ස්ටොයිකයෙක්. පාරෙ දර්ශනය කියව කියව ගිහින් එක වෙලාවක එයාගෙ නහය කැඩෙන්න ගහනවා. එයා ටක් ගාලා තේරුම් ගන්නවා එයා පාරෙ දර්ශනය කතා නොකල යුතු වග. එයා ගුටි නොකන තැනක එයාගෙ පොඩි ඉස්කෝලයක් පටන් ගන්නවා.

එපික්ටේටස් එක තැනක කියනවා, මං දැන් මැරෙනවා නම් මං ඒක බාරගන්න ලෑස්තියි. ඒත් මරණය පොඞ්ඩක් පරක්කු වෙනවා නම් මං කැමතියි දවල් කෑම කාලා ඉන්න. මොකද දැන් කෑම කන වෙලාව. මරණය ගැන හිතන්න ඊට පස්සෙ පුළුවන්. ඒක තමයි ස්ටොයික් විදිහ. මේ වෙලාවෙ දේ විතරයි මේ වෙලාවට අදාල.

මේක ආදරය ගැනත් ලස්සන යෙදවුමක්. අපිට පුළුවන් ආදරේ කරන්න. ඒක විතරයි අපි කළ යුත්තෙ. අනිකාගෙ ආදරය ලැබෙනවද නැද්ද කියන එක අදාල කාරණයක් නෙමෙයි. ඒක ගැන අපි කනස්සලූ වීම නාස්තියක්. අපි උපරිමයෙන් ආදරය කරනවද නැද්ද කියන එක විතරයි අපේ සිතීම වෙන්න ඕන.

ස්ටොයිකයො කියන්නෙ ස්වභාදහමට අනුව ජීවත් වෙන්න කියල. මෙතන ස්වභාදහම කියන්නෙ වනාන්තරය සහ අපි හෙලූවෙන් ඉන්න වානරයො වගේ දකින දැක්ම නෙමෙයි. නේචර් එක කියල ස්ටොයිකයො කතා කරන්නෙ මිනිස් ස්වභාවය ගැන. එකක් අපි සමාජ ජීවියෙක් විදිහට ගත කරන ජීවිතය. අනික අපේ තර්කයේ හැකියාව. බුද්ධිය. මේ තාර්කිකත්වය අපේ සමාජ ජීවිතය තෘප්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීමයි ස්ටොයිකයො ඵලදායී ජීවිතයක් කියන්නෙ. මේ දෙක අතර තුලනය තමයි මනුස්ස ස්වභාවය කියන්නෙ.

එතනදි මහා කුසලයන් හතරක් ඒ ගොල්ලො දේශනා කරනවා. පලවෙනි එක ප‍්‍රායෝගික බුද්ධිය. එපික්ටේටස් නහය කැඩුනම දර්ශනය ගේ ඇතුලට ගන්නෙ එහෙම එකකින්. දෙවෙනි එක ධෛර්යය. මේ කියන්නෙ ශාරීරික පැත්ත නෙමෙයි. මානසිකව යමක් කිරීමේ අධිෂ්ටානය. අනික යුක්තිගරුක බව. සාධාරණය ගැන හැගීම. හතරවෙනි එක මඳ පමණ. නැත්තං ඕනම දෙයක් පමණ දැන කිරීම. මේ පුහුණුව ඇතුලෙන් අපිට පාලනය කළ නොහැකි අපේ හැගීම් ආවේගයන් පාලනය කිරීම හෝ නිර්මාණශීලීව හසුරුවා ගැනීම ස්ටොයික්වාදය විසින් ජීවිතේට යෝජනා කරන ගැලවීම වෙනවා.

මේක හරි ලස්සන දර්ශනයක් වෙන්නෙ හැම දෙයක් ගැනම තුලනාත්මක හැසිරීමක් යෝජනා කරන පරිණතබව හින්ද. අපි හැම කෙනෙක්ම දරන විවිධ සමාජ භූමිකාවන් අතර සමතුලිතබවක් නිර්මාණය කිරීමයි අපේ පුද්ගලික සිතීමේ කාර්යය වෙන්න ඕන. මේ සමාජ භූමිකාවන් සාමූහිකව මිනිස්සු නිර්මාණය කරගත්ත හැකියා අවස්ථාවන් විදිහටයි ස්ටොයිකයො දකින්නෙ. සම්මත සාම්ප‍්‍රදායික කෑල්ල රකින එක නෙමෙයි ඒකෙ ෆන්ක්ෂනලිටි එක තේරුම් ගන්නයි ඕන වෙන්නෙ. උදා විදිහට ගුරුවරියක්, අම්මෙක්, සෙක්සි බිරිඳක් කියන්නෙ ගැහැනියකගේ භූමිකා කීපයක් වෙන්න පුළුවන්. එතනදි එකකින් අනෙක බාධා කරන, පලූදු කරන, අවලංගු කරන ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට හැම එකක්ම උපරිමයෙන් දල්වන ඉන්ටග‍්‍රිටියක් පවත්වාගෙන යන එකයි අභියෝගය වෙන්නෙ. මේ සියල්ල අතර නොසැලී නොතැවී ප‍්‍රීතියෙන් ජීවත් වෙන මනුෂ්‍යයා නිර්මාණය කිරීමයි දර්ශනය වෙන්නෙ.

ස්ටොයිකයෙක් වෙන්න ප‍්‍රැක්ටිස් කරන එක මනරම් අත්දැකීමක් වෙන්නෙ ඒක තමන්ගෙ ඇතුලෙම කරන පරිවර්තනයක් හින්ද. ඒ අභ්‍යන්තර පරිවර්තනය හරහා කරන සමාජ යෝජනාවක් හින්ද.