Monday, July 25, 2022

හෙට ඉර නැගෙන කඳුයාය දකිමින්

 



බ්‍රේන් පිකින්ග්ස් කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින්ග් දේවල් ෂෙයාර් කරන සයිට් එකක්. එක එක ලේඛකයන්ගෙන් එක එක පොත්වලින් ගන්න කාරණා විවිධ අදහස් තේමා යටතේ ගොනු කරලා ලියන බ්ලොග් එකක්. ඒ සයිට් එකට අවුරුදු 13ක් පිරීම නිමිත්තෙන් ඒ ගොල්ලො අදහස් 13ක් ෂෙයාර් කරලා තිබුන. ඒවා හඳුන්වලා තිබුනෙ ලර්නින්ග්ස් කියල. ඒ ලිපිය ෆේස්බුක් එකේ ෂෙයාර් වුනේ. ඒක කියවලා මාව කිතිකැවුනා. ඒක හින්ද පුළුවන් විදිහට සිංහලට දැම්මා. මට මතක් වෙන කරුණුත් එකතු කළා.  අපිට නිස්කලංකෙ සක්මන් කරන්න පුළුවන් සිතුවිලි පොකුරක්.

1. හිත වෙනස් කරගන්නවා කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමෙයි. ඒක අපිට තියෙන නිදහසක් වුනත් ඒ තරම් සුවපහසු නැති නිදහසක්. ඒත් ඒ අපි නැවත නැවත බුක්ති විඳි යුතුම නිදහසක්. එතකොට තමයි අපි නොදන්නා බව පිලිගැනීමේ හැකියාවෙන් පොහොසත් වෙන්නෙ. අපි ජීවත්වෙන සංස්කෘතියෙ හැටියට මොනවා හරි දෙයක් ගැන අදහසක් නැතිවීම කියන්නෙ ලැජ්ජාවට කාරනයක්. මේ හින්ද අපි කොහෙන් හරි වැඩියෙන් ඉලිප්පිලා පේන අදහසක් හෝ අනුන්ගෙ අදහසක් හෝ කරට අරන් අපේ අදහස විදිහට වැළඳගන්නවා. ඒ ගැන වැඩිදුර හොයන්න හිතන්න ඇත්ත අදහසක් ගන්න කාලයක් මහන්සියක් වැය කරන්න වෙන්නෙ නෑ. ඊට පස්සෙ අපි මේ නොදන්නා කුලියට ගත්ත අදහස් උඩ අපේ ජීවිතේ යතාර්ථය හදාගන්නවා. කවුරුවත් කැමති නෑ කිසි දෙයක් ගැන මං දන්නෙ නෑ කියල කියන්න. ඒත් වඩාත් වැදගත් වෙන්නෙ නිවැරදි විදිහට පෙනී සිටීම නෙමෙයි. සැබවින් තේරුම් ගැනීම කියන එකයි. ඒ තේරුම් ගැනීම හින්ද යමක් ගැන අපේ තියෙන අදහස, අපේ මතවාදය විතරක් නෙමෙයි අපිවම වෙනස් වෙන්න නියමිත වුනත් ඒක සුපිරි ලාභයක්.

2. නම්බුවට, තත්වයට, මුදලට හෝ සමාජ පිලිගැනීමට පමණක් කිසි දෙයක් කරන්න එපා. පෝල් ග‍්‍රැහැම් කියන විදිහට නම්බුව නැත්තං පිලිගැනීම කියන්නෙ ඉතාම බලවත් කාන්දමක්. ඒකෙන් අපි කැමතියි කියල ඔයා හිතන දේවල් පවා විකෘති කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ඇත්තටම කරන්න ආස වැඩ නෙමෙයි, අපි ආස වෙන්න ආස දේවල් වෙනුවෙන් වැඩකරන්න අපිව පොළඹවනවා. මේවා තාවකාලිකව මරු කියල හිතෙන්න පුළුවන්. ඒත් කාලයක් යද්දි උදේ සතුටෙන් ඇහැරෙන්න ?ට තෘප්තිමත්ව නින්දට යන්න අපිට බැරි වෙනවා. ඒ වගේම ජීවිතේ ඇත්ත ගැඹුරු තෘප්තීන් ලබාදිය හැකි තැන්වලින් අපිව නොදැනීම ඈත් කරනවා.

3. ලෝබ වෙන්න එපා. අපේ කාලය, අපේ සම්පත් ඒ වගේම වැඩක ක්‍රෙඩිට් එක දෙන්න ලෝබ වෙන්න එපා. ක‍්‍රිටික් කෙනෙක් වෙන්න ඕන කෙනෙකුට ලේසියි. අමාරු දේ වෙන්නෙ දේවල් සෙලිබ්‍රේට් කරන කෙනෙක් වෙන එකයි. හැම වෙලාවකම අනිත් පැත්තෙ ඉන්නෙත් මනුස්සයෙක් කියන එක මතක තියාගන්න ඕන දෙයක්. හැම ආර්ට් එකක්ම සංස්කෘතික වැඩක්ම පිටිපස්සෙ ඉන්නෙ තවත් දැනෙන හැගෙන මිනිහෙක්. ඒ මිනිහා ඒ කරමින් ඉන්නෙ තමන්ගෙ පමණට කළ හැකි එකතු කිරීම. අපි පිළිගත්තත් නොපිලිගත්තත් ඒක ගෞරවනීයයි. තේරුම් ගැනීම සහ තේරුම් කිරීම කියන්නෙ අපිට ජීවිතේ මුනගැහෙන වටිනා මොහොතවල්. හැම මනුස්ස ගනුදෙනුවක් කියන්නෙම ඒ වෙනුවෙන් දොර ඇරෙන අවස්ථා.

4. ජීවිතේ නිහඩ නිසල මොහොතවල් නිර්මාණය කරගන්න. භාවනානුයෝගී වෙන්න. සවිඥානක වෙන්න. ඇවිදින්න යන්න. පුළුවන් නම් බයිසිකලයක් අරන් නිස්කාරනේ නොදන්නා පාරවල් වල පැදගෙන යන්න. දවල් හීන දකින්න. අලසව කල්ගත කරන්න. නිර්මාණශීලී ජීවිතේකට ඒවා අවශ්‍යයි. අපේ හොඳම නිර්මාණශීලී අදහස් උපදින්නෙ ඒවා මහන්සියෙන් අත්පත් කරගැනීමේ වෑයම අත්ඇරලා මනසට නිදහසේ අදහස් අතර අලූත් සම්බන්දතා ගොඩනැගෙන්න ඉඩ ඇරියමයි. මේ අවිඥානක ප්‍රොසෙස් එක නැති නම් අපේ සමස්ත නිර්මාණකරන ක‍්‍රියාවලියම බිඳ වැටෙනවා. වැදගත්ම දේ නිදාගන්න එක. නින්ද තමයි ප‍්‍රබලම නිර්මාණ උද්දීපකය- ඇෆ්‍රොඞීයිසැක් එක වෙන්නෙ. අපේ හැම අවදියෙන් ඉන්න මොහොතක්මත් අපේ සමාජ ගනුදෙනුවක්මත් අපේ නෙගටිව් මූඞ් එකක්මත් පිටිපස්සෙ නින්දේ ආධිපත්‍යය තියෙනවා. වැඩවලට වගේම නින්දටත් භක්තිමත් වෙන්න. ආගමික වෙන්න. නින්ද අඩුකම මාර ක‍්‍රියාශීලී කාර්යශූරබවක් විදිහට ගනං ගන්න එපා. ඒක තමන් පිළිබඳ අඩු ගරුත්වය සහ ජීවිතේ ප‍්‍රමුඛතා නොදැනීමේ දෝෂයක්. අපේ සෞඛ්‍යය සහ සිහිය තරම් ජීවිතේ වෙන වැදගත් මොනවද?

5. මායා ආන්ජලෝ කියනවා මිනිස්සු ඒ අය කවුද කියල කියද්දි ඒ අයව විශ්වාස කරන්න කියල. ඒ වගේම මිනිස්සු ඔයා කවුද කියල කියන්න යද්දි ඒවා යන්තම්වත් විශ්වාස කරන්න එපා කියල. අපි ගැන දන්නෙ අපි විතරයි. අපි මේ විදිහයි කියන උපකල්පන මත මිනිස්සු අපේ ස්ථාවරයන් ගැන කියන කතාවලින් එලිවෙන්නෙ ඒ ගොල්ලො කවුද කියන එක විතරයි. අපි ගැන මොකක්වත් නෙමෙයි.

6. මේ මොහොතේ පැවතීම කියන එක ප්‍රොඩක්ටිවිටි එකට වඩා ගොඩක් වටින ආර්ට් එකක්. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නෙම මිනිස්සු විදිහට අපේ වටිනකම ඵලදායිතාව උඩ නැත්තං ආදායම උඩ නැත්තං අපේ හැකියාවන් උඩ තීරනය කරන විදිහට. ප්‍රොඩක්ටිවිටි කියන එකට ඒ අවශ්‍ය තැන තියෙන්න ඕන. ඒත් ඒක අල්තාරයක් කරගෙන පුදමින් ජීවිතේ අපි විඳින හැම සතුටක්ම, පුදුමයක්ම, මැජික් එකක්ම හොරාගන්නා තත්වයට පත්කරගන්න අවශ්‍ය නෑ. ඇනී ඩිලාර්ඞ් කියන විදිහට අපි අපේ දවස ගත කරන්නෙ කොහොමද ඒ තමයි අපි ජීවිතේ ගත කරන විදිහ. ඒක හින්ද දවස මගඅරින්න එපා.

7. වටිනා හැමදෙයක්ම බිහිවෙන්න කාලයක් ගතවෙන බව හිතන්න. මේක ඩෙබී මිල්මන්ගේ අදහසක්. අපේ ක්ෂනික සංස්කෘතිය විසින් මගහරින වැදගත්ම කාරණයක්. එක රැුයින් සාර්ථක වීම කියන්නෙ මිත්‍යාවක්. ඒ මිත්‍යාව විසින් මතක් කරන්නෙ අපි සාර්ථකත්වය මනින නිර්ණායකයන් දිහා නැවත හැරී බැලිය යුතුයි කියන එක. මලක් පොහොට්ටුවෙ ඉඳන් එක මොහොතින් පෙති විහිදා පිපෙන්නෙ නෑ. ඒත් අපි ලෑස්ති නෑ ඉවසීමෙන් ඒ විකසිතවීමට ඉඩ දෙන්න. නමුත් සෙමින් සිද්දවෙන ඒ විකසිත වීම ඇතුලෙ තමයි කෙනෙකුගේ චරිතය සහ ඉරණම ගොඩනැගෙන්නෙ.

8. ආධ්‍යාත්මය විශාල කරන දේවල් තෝරගන්න. පටී ස්මිත් විලියම් බ්ලේක් එක්ක කරන සංවාදයකදි කතා කරනවා එයාගෙ ආධ්‍යාත්මය විශාල කරපු ආර්ටිස්ට්ලා ගැන. ඒක හරිම ලස්සන අදහසක්. කවුද අපේ ආධ්‍යාත්මය විශාල කරපු මිනිස්සු, පොත්, අදහස් ? ඒ අයව හොයාගෙන යන්න. නිතර ඒ තැන් පෙරලා බලන්න. මනස ලෙඩ වුනාම විතරක් නෙමෙයි ප්‍රොටෙක්ෂන් එකටත්, අපි ඇතුලෙ එලිය නොනිමී පවත්වාගන්නත් ඒ අයව නැවත නැවත ඇසුරු කරන්න.

9. මතවාදියෙක් වෙන්න බය වෙන්න එපා. ඉංග‍්‍රිසියෙන් කියන්නෙ අයිඩියලිස්ට් කියල. අපි සංස්කෘතිය කියල කියන්නෙ නිර්මාණකරුවන් සහ පාරිභෝගිකයන් අතර තියෙන නොනවතින ගතික හුවමාරුවක්. එතන අපේ වගකීමට පැවරෙන ගොඩක් දේවල් තියෙනවා. සැපයුම සහ නිර්මාණය කරන ධාරාවෙ කොයි අන්තයෙද අපි හිටං ඉන්නෙ? වාණිජ ධාරාව අපිව පුරුදු කරන්නෙ පවතින ඉල්ලූමට සරිලන සැපයුම තමයි සාර්ථකත්වයට මග කියල හිතන්න. මිනිස්සු ඉල්ලන්නෙ පූසන්ගෙ ජිෆ්නම් පූස් ජිෆ් හදන එකයි වැඬේ. ඒත් ඊ බී රයිට් අවුරුදු පනහකට කලින් කිව්ව දේ අදටත් ඇත්ත. ලියන්නෙක් ලිවිය යුත්තේ මිනිස්සු ඉන්නා තැනින් ඉහළට එසවීමට මිස පහල හෙලීමට නොවේ කියලා එයා කිව්වා. සමාජයේ පවතින බාල යාන්ත‍්‍රණයේ මීදුමෙන් ගැලවිලා හිතන්න මේ සිහිකැඳවීම හොඳ එකක්. ඉල්ලූමට සැපයුම විතරක් නෙමෙයි ඒකෙ අනිත් පැත්තත් වැඩකරනවා. සැපයුම විසින් ඊට අදාල වූ ඉල්ලූමක් නිර්මාණය කරනවා. නිරන්තරයෙන් කරන සැපයුමක් මගින් තමයි අපිට මේ පවතින බොරු ඉල්ලූමට පිටින් තේරුමක් ඇති දෙයක් වෙනුවෙන් ඉල්ලූමක් නිර්මාණය කරන්න පුළුවන්. අපේ පුද්ගලික ජීවිතේ ඇතුලෙත් සංස්කෘතිය කියන අපේ සාමූහික සිහිනය ඇතුලෙත් ඒක කරන්න පුළුවන් එහෙම විතරයි.

10. හැමදේම දොස් දකින සිනික් කෙනෙක් වෙන්න එපා. ඒ පුරුද්දට විරුද්දව තමන් තුලම සටන් කරන්න. මේ වැරදි දැකීම කියන්නෙ අපි හැමෝම ඇතුලෙ නිදාගෙන ඉන්න සතෙක්. වෙන කවුරු හරි එක්ක ගනුදෙනු කරද්දි හිතාමතාම ඊට ප‍්‍රතිවිරුද්ධව ආදරය ඉස්සරහට ගන්න. ඒක හිතාමතාම ට‍්‍රයි කරන්න. දොස් දැකීම හෝ නිශේධනාත්මක විවේචනය ගොඩක් වෙලාවට ප‍්‍රබුද්ධ ශක්තිමත් ස්තාවරයක් හැටියට පේන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක එන්නෙ හීනමානයත් එක්ක. ජීවිතය විශාල කරවන සැක කිරීමක් නෙමෙයි නං ඒක අපිව කුඩා කරන ප‍්‍රවාහයක්. මේ කියන්නෙ ක‍්‍රිටිකල් තින්කින් වල එන තර්කනය හෝ අවශ්‍ය සාධනීය ප‍්‍රතිවිරෝධය ගැන නෙමෙයි. ඒවා බලාපොරොත්තුව ඇති කරන තත්වයන්. ඒත් මේ නිශේධනාත්මක විවේචනය කොහෙත්ම සාධනීය දෙයක් කරන්නෙ නෑ. නිර්මාණශීලී නෑ. ආධ්‍යාත්මිකව ඛාදනය කරනවා. මේක හරිම ලේසි වැඩක්. දෙයක් නිර්මාණය කරනවට වඩා හැමදේකටම විරුද්ද වෙන එක ලේසියි. අපි ජීවත් වෙන සමාජයේ අමාරුම දේ වෙන්නෙ තමන්ට අවංකව ජීවත් වීමත් විශාල හදවතක් ඇතුව ජීවිතය දිහා බැලීමත් කියන එකයි. මිනිස්සු ගැන තාර්කිකව විශ්වාසය ගොඩනැගීම අමාරු දෙයක්. ඒත් ඒ තමයි වර්ධනයේ මාවත. ඒ තමයි දොස් දැකීමේ පුරුද්දෙන් අත්මිදිය හැකි විදිහ. ඒක හරිම ධෛර්යසම්පන්න හිතකින් කරන්න ඕන දෙයක්.

11. ඔයාගෙ විශ්වය ගැන තියෙන සිතියම් සහ ආකෘතීන් නැවත නැවත ප‍්‍රශ්න කරන්න. මේ කියන්නෙ බාහිර විශ්වය සහ අභ්‍යන්තර විශ්වය කියන කාරණා දෙකම ගැන. අපි අපේ සිතියම් සහ ආකෘතීන් හදාගන්නෙ අපිට දත හැකි වූ සුළුතරයක් භූමිදර්ශන උඩ පිහිටලයි. ඒ සිතියම් අනිවාර්යෙන්ම අසම්පූර්ණයි වගේම ගවේශනයට තව බොහොමයක් අවකාශ ඉතිරියි. අසීමිත විශ්වයන් අපි මනින්නේ සහ තේරුම් ගන්නේ අපේ සීමිත අත්දැකීම් උපකරණ මත බව සිහිතබා ගන්න. ඒවා අලූත් කරන්න හැමවෙලාවකම කැමැත්තෙන් බලාගෙන ඉන්න.

12. විවිධ වර්ගවල විවිධ ස්වරූපවල සොඳුරු ජීවිත අනන්ත ගණනක් මේ ලෝකෙ පවතිනවා. අපි වටා ජීවත් වෙනවා. ඒවා දකින්න ඒවා විඳින්න ඒවා එක්ක බෙදාහදාගැනීම් කරන්න විවෘත වෙන්න. දෑත් විහිදන්න. ජීවිතේ අසීමිත සෞන්දර්ය විඳගැනීමට තියෙන එකම මග ඒකයි.

13. ගැඹුරට දිවෙන, සුවිශේෂ වූ හැම බැඳීමකම එක ප‍්‍රබල කාරණයක් තියෙනවා. ඒ තමයි සමාව දීම. නැවත නැවත නැවත නැවතත් සමාව දීම. පොහොසත් සම්බන්ධතා කියන්නෙ ජීවිතාරක්ෂක බෝට්ටු වගේ ජාතියක් තමයි. ඒත් ඒවා සබ්මැරීනුත් වෙන්න ඕන. අපේ ජීවිතේ අඳුරු නිශ්ශබ්ද අහුමුලූවලටත් ඒ සබ්මැරීන ළගා වෙන්න ඕන. අපේ ජීවිතේ ලැජ්ජාසහගත, වල්මත් මොහොතවල් පවා හඳුනාගෙන තියෙන්න ඕන. ඒ කියන්නෙ අපි ඇත්තටම ජීවිතේ කුඩාවෙන තැන්. එලියට විශාලව පෙනුනත් ඇතුලත තියෙන නොමැරෙන පුංචිකම්. සමාව දීමෙන් විතරයි ඒවා ගෞරවනීය හෝ වාසනාවන්ත බිම් බවට පෙරලෙන්නෙ. අනෙකා ගැන නොනිමි ආදරයකින් විනිශ්චයකින් තොර තේරුම් ගැනීමකින් එයාව ආදරෙන් වැළඳගන්න අපිට පුළුවන් නම් අපි ඒ ගැඹුරු හුදකලා තැන් අපේ සම්බන්ධතාවලින් ආලෝකමත් කරනවා. සමාව දීම මේ වචනෙ සිංහලෙන් ටිකක් අවලස්සනයි. ෆොගිව්නස් කියන එක තමයි අපිට ඒ අඳුරු කොන් දක්වාම එලිය අරගෙන කිමිදෙන්නත් ඒ පත්ලේ සැගවුනු දේවල් මුතු මෙන් පිටතට ගේන්නත් පුළුවන් ගයිඞ් එක වෙන්නෙ.

බ්‍රේන් පිකින්ග්ස්වල කියල තිබුණ 13 මෙතනින් ඉවරයි. මගේ අතින් මං තව දෙකක් එකතු කරනවා.

14. තීරණය අරගෙන ඉවර නං ඉතාම බුද්ධිමත් යැයි හැගෙන ප‍්‍රතිවිරුද්ධ අදහසට හෝ කන් දෙන්න එපා. කන් වහගන්න. ඒක තමයි ශක්තිමත් චරිතයක ගුණය. ඒකට කියන්නෙ ඉඳහිට අපි කළ යුතු මෝඩකම වෙනුවෙන් අධිෂ්ටානය කියල නීට්ෂෙ කියනවා. මේ කියන්නෙ විශාල තෝරාගැනීම් ප‍්‍රමාණයක්, කියවාගැනීම් ප‍්‍රමාණයක් ඇත්නම් අපිට නිවැරදිම තීරණය ගන්න පුළුවන් වෙනවා කියන අදහසට ප‍්‍රතිවිරෝධයක්. ඒ වගේ විශාල පරාසයකදි අපිට තෝරාගැනීමක් නැති වෙනවා. අපි වික්ෂිප්ත වෙනවා. එතනදි අපි කරන්නෙ නිවැරදි තෝරාගැනීම කියල අපි හිතනවා නම් ඒක මුළාවක්. බොළඳකමක්. ඒ වගේ වෙලාවට මෝඩකම තෝරාගැනීමක් කරන්න කියල නීට්ෂ කියන්නෙ. මේකෙ අදහස කිසිම සමාන්තර හෝ ප‍්‍රතිවිරුද්ධ අදහසක් නොතකා හරින්න කියන එක නෙමෙයි. අවසාන මොහොතෙදි මෝඩකමට ඉඩදීලා හිතෙන එක තෝරගන්න කියන එක. හැමෝම කියන දේ අහන්න. උඹට හිතෙන දේ කරන්න කියන එක. තීරණය තාර්කික කරන්න හදන්න එපා කියන එක.

15. අන්තිම අදහස මට මුනගැහුනෙ බූපති ආදරය ගැන කරපු ඉන්ටවිව් එකකදි. මේ අදහස මට කීපi තැනකම මුනගැහිලා තිබුනත් පපුවෙ රැුඳෙන විදිහට වචන කළේ බූපති. සමහර විට මේක බූපති කියපු අදහසම නොවෙන්නත් පුළුවන්. ඒ තමයි සම්බන්දතාවයකින් යන්නම හිතෙන වෙලාවෙදි තව ඉන්න කියන එක. ගැලවීමෙන් පලායාමෙන් බලාපොරොත්තු වෙන ක්ෂනික නිදහස වෙනුවට වේදනාව පීඩනය දරාගෙන ඉවසීමේ ගැඹුරට යන්න කියන එක. ඉක්මන් සතුට වෙනුවට වේදනාව තුලින් අවබෝධයේ පරිණතබවේ තෘප්තිය අත්පත් කරගන්න උත්සාහ කරන්න කියන එක. වඩා වටින්නෙ ගැලවීමේ ත‍්‍රිල් එක නෙමෙයි ගැලීමේ අවබෝධය කියන එක.

මේ අදහස් පහලොව ගැන මං අවුරුද්දෙ අන්තිම කෙලවරේදි එකින් එක මෙනෙහි කළා. මගේ අත්දැකීම් එක්ක ගලපමින් සංවාද කළා. මට දේවල් දිහා අලූත් විදිහට බලන්න, දේවල් අලූතෙන් තේරුම් ගන්න ඒ අදහස් මාව ඉන්ස්පයර් කළා. මං හිතනවා කියවන තව කීපදෙනෙකුටත් ඒක එහෙම වෙයි කියල.

අවුරුද්දෙ අන්තිමක් කියන්නෙ අපිට අපේ ඇතුලට කිමිදෙන්න හොඳ වෙලාවක්.

Wednesday, April 21, 2021

Catwatching!!

 ගෙදර ඇති කරන පූසෙක් කියන්නෙම ප‍්‍රතිවිරෝධයක්. මිනිස්සු එක්ක ඒ තරම් තද බැඳීමක් තියෙන ගමන්ම තමන්ගේ ස්වාධීනත්වය නිදහස එකට පවත්වාගෙන යන වෙන කිසි සතෙක් නෑ. බල්ලා මිනිසාගේ හොඳම යාලුවා වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ හිතුමතේ වත්තෙන් වත්තට හෝ පාරෙන් පාරට ඇවිදින්න යන බල්ලො අඩුයි. කීකරු බල්ලෙක්ව ඇවිදින්න එක්කගෙන යන්න ඔ්න. ඒත් හිත හයිය පූසෙක් යන්නෙ එන්නෙ තනියම. 

පූසෙක් ගත කරන්නෙ දෙබිඩි ජීවිතයක්. ගෙදරදි හාම්පුතුන්ට හුරතල් පූස් පැටියෙක්. ඒත් එලියෙදි ඌ වැඩිහිටි, තමන්ගෙ ලොක්කා තමන්ම වුණු නිදහස් කැලෑ සතෙක්. සූක්ෂමයි, තනිව පවතින්න පුළුවන්. ගෙදර හාම්පුතුන් ගැන මතකයක් හෝ නෑ. මේ හීලෑ හුරතලා ඉඳන් කැලෑ සතා දක්වා ඒ අතට මේ අතට සිද්ද වෙන වෙනස බලන් ඉන්න ලස්සන එකක්. තමන්ගේ හුරතලා සෙක්ස් හෝ වයලන්ස් වෙනුවෙන් සූදානම් වෙන හැටි දැකපු ඔ්නම පූස්පේ‍්‍රමියෙක් මේක දන්නවා. පූසෙක් ආලිංගන ක‍්‍රියාවලියෙ ඉන්ටෙන්සිටි එකට සම්පූර්ණයෙන් බැඳී වෙලී සිටින මොහොතක්. ඒ වෙලාවෙදි ඇස් කොනකින් පූසා දකිනවා තමන්ගේ හාම්පුතා බලාගෙන ඉන්නවා.. මොහොතකට පූසා මේ භූමිකා දෙක අතර වල්මත් වෙනවා. ඊළ`ග මොහොතෙ ඌ අකමැත්තෙන් වුනත් හුරතල් පූස් පැටියාගෙ චරිතයට මාරු වෙනවා. දුවගෙන ඇවිත් හාම්පුතාගෙ කකුල්වල දැවටෙනවා.


ඇති කරන පූසන්ගේ හා බල්ලන්ගේ ඇති වෙනස නිසාම පූස් පේ‍්‍රමින් සහ බලු පේ‍්‍රමීන් අතරත් වෙනස්කම් තියෙනවා. ඒක මූලිකවම නිදහස් සිතීම සහ ක‍්‍රියාව සම්බන්ධ පුද්ගල පෞර්ෂයට බද්ධයි. කලාකරුවන් පූසන්ට පේ‍්‍රම කරන අතර සොල්දුදාවන් බල්ලන්ට පේ‍්‍රම කරනවා. පූසන්ට වගේම පූස් පේ‍්‍රමීන්ටද සාමූහික බැඳීම වගේ දේවල් නුහුරුයි. ඔබ සමූහයක හෝ ගැන්සියක කෙනෙක් නම් කොලු රැුලේ එකෙක් නම් ස්කොඩ් එකට තේරුන අයෙක් නම් ගෙදර පූසෙක් ගුලි වෙලා නිදාගෙන ඉන්න තියෙන ඉඩ අවමයි. ඔබ අභිවෘද්ධිකාමී ජේත්තුකාරයෙක් නම්, අරමුනු හඹා යන දේශපාලකයෙක් නම්' වෘත්තිමය මලල ක‍්‍රීඩකයෙක් නම් ටිපිකල් පූස්පේ‍්‍රමියෙක් නෙමෙයි. ෆුට්බෝල් ක‍්‍රීඩකයෙක් පූසෙක්ව හුරතල් කරනවා මවා ගන්න ටිකක් අමාරුයි. ඊට වඩා එහෙම කෙනෙක් බල්ලෙක් එක්ක ඇවිදින්න යන එක දකින්න ලේසියි. 


- Catwatching-

Desmond Morris

Tuesday, April 20, 2021

My valentine's!!

 අද ආදරවන්තයන්ගෙ දවස......(කාලෙකට කලින් එහෙම දවසක ලියපු එකක්!!)


එකාතකින් මෙහෙම ස්පෙශල් ඩේ එකක් එන එක ගැන මම හරි  සතුටුයි..අද වගේ දවසක අපිට පුලුවන් අපේ ආදර ඉතිහාසෙ ආයේ පාරක් රිවයින් කරන්න..ජීවිතේ අපි කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු දවස්,ආදරෙ කරපු මිනිස්සු,ගෑණු,කවදාවත් අපිට, කියාගන්න බැරුව හිතින් කරපු ඒකපාර්ශ්වික ආදරයන්,සිප වැලදගැනීම්,හිත් බිදීම්,වෙන්වීම්,විදපු විරහ වේදනාවන් සේර්ම මොලේ සේව් වෙලා තියෙන චේම්බර්ස් වලින් ඇදල ඇරන් එකින් එක හිමීට සියුම්ව ආයෙ ආයෙ ඩයිසෙක්ට් කරල බලන්න..


අපි ආයෙ ආයෙ ආදරේ කරනවා..ආයෙ ආයෙ වෙන් වෙනවා..ආයෙ ආයෙ එකතු වෙනවා...වෙලාවකට මට හිතෙනවා මිනිස්සු ජීවත් කරවන හෙට දවසෙ බලාපොරොත්තුව ආදරේ කියල..මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ තමන්ට සීමාවක් නැතුව ආදරේ කරන චරිතයක් ලං කරගන්න..සීමාවක් නැතුව ආදරේ කරන සහකාරයෙක් හොයා ගන්න...සමලිංගික හරි විශම ලිංගික හරි...අපි ආස ගහට පොත්ත වගේ අපිත් එක්ක ඇලුන වෙලුන ජීවියෙක්ට..


මිනිස්සු ජීව්තේ කවදාවත් ආදරෙ කරන එක නතර කරන්නෙ නෑ...හැම වෙන් වීමක්ම අලුත් ආදර කතාවක ඇරඹුමක්.හැම තැවීමකම අන්තිම කෙලවරේ අලුත් කතාවක බලාපොරොත්තුවක් එල්ලිලා තියෙනවා...අලුත් ලියවීමක්...මිනිස්සුන්ට ආදරේ නොකර ජීවත් වෙන්න බෑ..මොකද හදවත ලේ පම්ප් කරාට හිත පම්ප් කරන්නෙ ආදරේ.....!!!!!!!!

"ගෝල්""

 


ජීවිතේ මැරිලා ආයෙ මනුස්සයෙක් වෙලා නැත්තන් සී ක්‍රියේචර් එකක් වෙලා හරි ඉපදෙන්න චාන්ස් එකක් ආවොත් හරි  මම ඉපදෙන්න තෝරගන්නෙ ගෝල්..ගාල්ල......ගාල්ල ඒ තරම් පට්ට බන්...


කෝස්ටල් ස්ට්‍රෙච් එකට දන්න කාලෙ ඉදන් මගෙ කෝමත් පොඩි ක්‍රශ් එකක් තියේ....බීච් සයිඩ්ස් කියන්නෙ මිනිස්සුන්ට දෙයියෝ දීපු තෑග්ගක් කියල මට හිතෙන්නෙ..හිතේ මැරෙන්න හිතෙන තරම් ප්‍රශ්නයක් තිබ්බ වෙලාවට ඩිංගක් වෙරලට ගිහින් හැපෙන,බිදෙන,පෙරලෙන, ආයෙ ආපිට ගහන,පෙන කැටි එක්ක කැලතුන රැලි දිහායි,ඈත මුහුදයි අහසයි එකට හාවෙන ඉන්ෆිනිටි එක දිහායි බලන් ඉදපන්......එකෙන්ම උබට ජීව්තේ මාර රිලැක්ස් එකක් දැනෙයි..ප්‍රශ්නෙට මූන දෙන්න ගට එයි...ඔය ලයිෆ් එකේ තියෙන අනුන්ගෙ එක්පෙක්ටේශන් නැතුව තමන්ගෙ ඇතුලෙ ඉන්න "ඉනර් මී"ව මීට් වෙන්න බීච් එක තරම් වෙන හරියන වාස් ස්පේස් එකක් තව නෑ දොරේ.....


කොහෙද,,කතා කලේ ගෝල් ගැනනෙ..රයිටෝ....


අපර් කෝස්ටල් ඒරියා එක,ඔය මට්ටක්කුලියෙ ඉදන් උඩහට නිගම්බො,චිලව්,පැත්තේ බීචස් මට එච්චර සෙට් උනේ නෑ කවදාවත්..ඒවා මෙලෝ ලස්සනක් නෑ...හවසට ටිකක් දුවන්න කරන්න නම් පට්ට...ඒත් හරි ආටිෆිශල් ෆීලින් එකක් එන්නෙ.....හුගක් තැන් වල අපේ එව්වො කාලා,රීලා,කුනු දාලා වනසල...


ඒ අතින් ඩවුන් සවුත් කියන්නෙ පස්ට..සුරපුරයක්..පානදුර,කලුතර ඉදන් පල්ලෙහාට දුවන බීච් එක ටැන්ගෝල්,හම්බන්තොට හරියට යනකල් ම විදින්න,බලන්න තනිවෙන්න,ලව් කරන්න,හදට යන්න ,ඩයිව් කරන්න මාරයි......නැචුරල් ටොපිකල් අයිලන්ඩ් ෆීලින් එක බොක්කටම සෙට් වෙනවා.......


ගෝල් වල ඉපදිලා, හවසට බීච් බැහැලා,පොඩියට මොනා හරි කරලා,ජොයින්ටෙකක් ගහලා,ජන්ගල් බීච් නයිට් පාටියක් බැහැලා සුද්දෙක්ව සෙට් කරන් ස්ට්‍රෙස් ෆ්‍රී ලයිෆ් එකක් හදාගෙන මැරිලා යන්න මම අද උනත් මගෙ මේ කසඩ ලයිෆ් එක එක්ස්චේන්ජ් කරන්න කැමතියි....මොනා උනත් එහෙම ලයිෆ් එක විදින උන් ගැන මගෙ හිතේ බොක්කෙ රෙස්පෙක්ට් එකක් තියේ.....හැපනින් ටවුන් එහෙක ඉපදුනා නම් ඔයා ඒ ෆන් එක ගන්න ඕනි සාන්ත......


සහනට වෙලා ටී එකක් බිබී සර්ෆ් කරන සෙට් දිහා බලන් මම මගෙයි උනගෙයි ලයිෆ් එක කම්පෙයා කරනවා බන්...සෝ පැතටික්....!!!!!

දුකද?.සතුටද?

 


නිකමට මෙහෙම හිතපන්. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න, ලෝකය ගැන තේරුම් ගැනීම වැඩි වෙන්න වැඩි වෙන්න අපේ දුක වැඩි වෙනවා නේද?
ඒ නිසා මේකට උත්තරේ දැනුම ප්‍රතික්ෂේප කර අපේ bubble එක ඇතුලේ ජීවත් වීමද? උදාහරණයක් කියන්නන්. මගේ යාළුවො අපි හමුවුනහම දේශපාලනය කතා කිරීම තහනම් කරලා තියෙන්නේ. අපි සෙට් උනහම අපි කතා කරන්නේ ප්‍රියංකා චොප්රා ගැන, කොරියන් චිත්‍රපට ගැන. ඒ වගේම මේ කට්ටිය හැමදාම පන්සල් යනවා. හදිස්සියෙවත් මන් බුදු දහම ගැන ප්‍රශ්නයක් ඇහුවම මන් ඒ අයගේ දරුණු හතුරෙක් වෙනවා. මගේ ලෝකය ගත්තොත් එහෙම, මට හැමදාම හිතෙන්නේ මන් කිසි දෙයක් දන්නේ නැහැ කියල. මේක පුදුම ආතතියක් මට. මට කවදාවත් මගේ දැනුම පරිපූර්ණයි කියල දැනෙන්නේ නැහැ. මේක ඇත්තටම හිතුවොත් මන් කිසි තේරුමක් නැතුව මගේ ජීවිතය දුකට ලක් කරගෙන නේද? ඇත්තටම මන් කල්පනා කළේ ඒ අයත් එක විදිහකට තමන්ගේ මතවාද දරුණු පරීක්ෂාවකට ලක් කරලා අදහස් වෙනස් කිරීමේ දුකෙන් මිදිලා තමන්ගේ ම ලෝකයේ සතුටෙන් ජීවත් වීමක් නේද බලාපොරොත්තු වෙන්නේ? ඒක හරි ද?

මීට වඩා තව එකක්. සමහර විද්‍යාඥයෝ ඉන්නවා ඔය න්‍යෂ්ටික විද්‍යාව ගැන පර්යේෂණ කරපු. ඒ අය හොඳටම දැනගෙන හිටිය විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා ඒ අයගේ ජීවිතය කෙටි වෙනවා කියල. නමුත් ඒ අය ඒ දැනගෙන ම ඒ පර්යේෂණවල නියැලුනා.
චේ ගුවේරා ගන්න. දොස්තර කෙනෙක් නේ. හැබැයි ඔක්කොම අතඇරලා දාල වෙනත් රටක විප්ලවයක් කරන්න ගිහින් වෙඩි කාලා මැරුණා.
ආදරය ම ගන්න. එක සහකාරියක්/සහකරුවෙක් එක්ක ජීවිත කාලෙම එකට ජීවත් වීම දුකක් නෙවේ ද? ආදරය අහිමි වෙන බව දැන දැන ආදරය කරන අය?
අපි අපේ ජීවිතය දුකට පත් කරගන්න එක නේද ජීවිතය පුරාවටම කරගන්නේ? ඇත්තටම හිතල බැලුවොත් "නියම ම" සතුට තියෙන්නේ මේ දුක ඇතුලේ හැංගිලා නේද? දුක නැති සතුට තේරුමක් නැහැ නේද? මට නං ඇත්තටම තේරෙන්නේ නැහැ දරුවෝ හදාගෙන දුක් විඳින අයගෙයි, ඉපදිච්ච නිසා ම ජීවත් වෙන අපෙයි වෙනස.

Luv!

 කෙනෙකුට ජීවිතේට එකම එක වතාවක් එයාගෙ මුලූ ලෝකෙම අනෙක් පැත්ත පෙරලන්න පුළුවන් කෙනෙක් මුනගැහෙනවා කියල මං විශ්වාස කරනවා. ඔයා ජීවිතේට කාටවත් නොකියපු දේවල් එයත් එක්ක ෂෙයාර් කරගන්නවා. එයා හැමදෙයක්ම අහගෙන ඉන්නවා. තව තවත් දේවල් අහන්න ඕන වෙනවා. ඔයා එයත් එක්ක කතා කරනවා අනාගතේ බලාපොරොත්තු ගැන.. කවදාවත් ඇත්ත නොවුනු හීන ගැන.. දිනාගන්න බැරි වුනු අරමුනු ගැන.. ජීවිතේ මුනදුන්නු පරාජයන් ගැන.. මොකක් හරි ලස්සන දෙයක් සිද්ද වුනු ගමන් ඔයාට ඉවසිල්ලක් නෑ ඒක එයා එක්ක බෙදාගන්න කල්. මොකද ඔයා දන්නවා ඒක අහන් ඉඳලා ඔයාට දැනෙන තරම්ම එක්සයිට්මන්ට් එකක් එයාටත් දැනෙන වග. ඔයාට දුක හිතුන වෙලාවට ඔයත් එක්ක අඩන්න, ඔයා මෝඩ වැඩකරද්දි ඔයා එක්ක හිනාවෙන්න එයා ලැජ්ජා වෙන්නෙ නෑ. කිසිම දවසක එයා ඔයාව රිද්දන්නෙ නෑ. ඔයා මදි වගේ වගේ හැගීමක් දෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා ඔයාව අලූතෙන් නිර්මානය කරනවා. ඔයා කොයිතරම් විශේෂද කොයිතරම් ලස්සන ජීවිතයක්ද කියල ඔයාට පෙන්නලා දෙනවා. එයා ළ`ග ඉන්නකොට කොයිම වෙලාවකවත් ආතතියක්, ඉරිසියාවක්, තරගයක් ඔයාට දැනෙන්නෙ නෑ. ඒ වෙනුවට හරිම නිශ්ශබ්ද සංසුන්බවක් හැමදේකම දැනේවි. ඔයාට එයා ඉස්සරහ ඔයා විදිහටම පවතින්න පුළුවන්. මොකද එයා ආදරේ කරන්නෙ ඔයා ඔයා විදිහටම ඉන්න කොට. ගොඩක් අයට කිසිම වටිනාකමක් නැති පුංචි නෝට් එකක්, සිංදුවක්, ඇවිදින්න ගිය ගමනක් ඔයාගෙ හිතේ හැමදාම රස විඳින මතකයක් විදිහට ඉතුරු වෙයි. පුංචි කාලෙ මතක අලූත් වෙවී ඔයා තව තරුණ වෙයි. හැම පාටක්ම වෙනදට වඩා පාට වැටිලා පෙනේවි. දවස පුරාම තේරුමක් නැති වුනත් මූනෙ හිනා පිරිලා තියෙයි. එක ෆෝන් කෝල් එකකින් නැත්තං දෙකකින් දවසෙ හැම ප‍්‍රශ්නයක්ම අමතක වෙලා සැහැල්ලූ හිනා ඇඳෙයි. ඒ වගේ අයත් එක්ක ඉන්න කොට දිගට කතා කරගෙන යන්න ඕන නෑ. ළ`ගින් ඉඳගෙන ඉදීමම විතරක් හැමදෙයක්ම සම්පූර්ණ කරාවි. ඔයා කවදාවත් ආස කරපු නැති දේවල් වලට ඔයා මේ මුනගැසීම නිසා ආස වෙන්න ගනීවී. හැම දේකදිම, හැම මොහොතකදිම හිතේ එයා ගැන සිතුවිල්ලක් රැුදේවි. හිස් නිල් අහසට, හීන් හුළ`ගකට, පාවෙන වැහි වලාකුලකට වගේ නොවැදගත් දේකට වුනත් පුළුවන් මේ සිතුවිලි මතක් කරලා දෙන්න. කවදාක හරි හදවත බිඳෙන රිදෙන වග දැන දැන වුනත් ඔයා සම්පූර්නයෙන්ම විවෘත වේවි. ඒ ආදරය ඒ තරම්ම ප‍්‍රහර්ශයක් නිසා. මේ විශ්වයේ වල්මත් වෙලා පාවෙන්න අරින එක තමයි මේ සැබෑ තෘප්තිය විඳින්න හොඳම මාර්ගය කියල ඔයා තේරුම් ගනීවි. ඒක කොයිතරම් බයානකද කියල ඔයා ඇත්තට බයවේවි. ඒත් ජීවිත කාලෙ පුරාම ළ`ග ඉන්න ඇත්ත යාලූවෙක්, සෝල්මේට් කෙනෙක් ඔයාට ඉතුරු වෙනවා කියන හැගීමෙන් ඔයා ශක්තිමත්ව මූනදේවි. ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක ජීවත්වෙන්න වෙන්න ආස හිතෙන තරම් ආස්වාදනීයයි. ඔයාගෙ එකම බලාපොරොත්තුවත් ආරක්ෂාවත් වෙන්නෙ එයා හැමදාම ඔයාගෙ ජීවිතේ ඇතුලෙ ඉන්නවා කියන දැනීම විතරයි.


-බොබ් මාලේ- (KalaNa Gihantha page eken)

ආගම පෞද්ගලිකයි!

 ආගම පෞද්ගලිකයි!


සාමාන්‍යයෙන් විද්‍යාඥයෙක් එයාගෙ පර්යේෂණයක් වෙනුවෙන් අවුරුදු ගානක් කැප කරනවා. ලැබ් එක ඇතුලෙ වෙන්න පුළුවන් වෙන සමාජ පරිසරයක වෙන්න පුළුවන් එක දිගට තමන්ගේ විෂය ගැන පර්යේෂණ කරනවා. ඒ වගේම තවත් මිනිස්සු පිරිසක් තමන්ගෙ මනස ගැන පර්යේෂණ කරනවා. ඒ ගොල්ලො ගල්ගුහාගත වෙලා වනාන්තරගත වෙලා අවුරුදු ගනං මිනිස් ඇසුරක් නැතුව තමන්ගේ ඇතුලටම ගමන් කරනවා. මිනිහෙක් සියලු සමාජ සම්බන්ධතා නැත්තං සාමූහික නොයිස් එකෙන් දුරස් වුනොත් මොනවා වෙයිද? අනිවාර්යෙන්ම සාමාන්‍ය සමාජය ඇතුලෙ ජීවත්වෙන මිනිහෙකුට වඩා හුදකලාවේ තමන් ඇතුලට ගවේෂනය කරන මිනිහෙකුට සවිඥානකත්වයේ ගැඹුරු තලයන් මුනගැහෙනවා. සමහරු පිස්සො වෙනවා. තවත් සමහරු මුනිවරු වෙනවා.

මිනිහෙක් ඇස් වහගෙන තමන් ඇතුලට යොමුවෙන භාවනාවක් කරද්දි මුලින්ම තේරුම් ගන්න දේ තමයි තමන්ගේ මනස කොයිතරම් කුනුගොඩක්ද කියන එක. පිටකොටුවෙ මාර්කට් එකට වඩා ගෝෂාවක් කියන එක. ඒ කිසි දෙයක් තමන්ගේ පාලනයෙන් තොරයි සහ තමන් ඒ හැගීම් සිතුවිලි සංවේදනා අතර ඒ අතට මේ අතට ගහගෙන යනවා කියන එක. පලවෙනි වතාවට භාවනාවක් කරන්න උත්සාහ ගන්න මනුස්සයෙක් බය වෙනවා තමන්ට පිස්සු හැදීගෙන එනවා කියන තරමට. අපිට දැනෙන විශිෂ්ටතම පරිකල්පනයක් සිතුවිල්ලක් පවා අපේ නිහඩබවට බාධා කරනවා. අපිව වහල් කරගන්නවා. සෙන් අභ්‍යාසවලදි ඔබේ මගේදි බුදුකෙනෙක් මුනගැහුනොත් මරා දමන්න කියන්නෙ මේ අදහසින්.

හැම ආගමක්ම ඉපදෙන්නෙ මේ මනස් ගැඹුරෙ සත්‍යය ගවේෂනය කිරීමේ ප්‍රවේශයක් විදිහට. ඒත් කිසිම ආගමක් ආයතනගත වුනාට පස්සෙ මේ සත්‍යය ශේෂ වෙන්නෙ නෑ. ඒවා නටඹුන් විතරයි. බුද්ධාගමේ අපි මේ අභ්‍යන්තර මනස ජයගන්නා අයට බුදුවරුන් කියනවා. මෙතනදි ජයගන්නවා කියන අදහසම අපිව මුලා කරන්න ඉඩ තියෙනවා. ජයගන්න කිසි දෙයක් නෑ, පවතින්න විතරයි තියෙන්නෙ. ගමන් කරන්න ගමනාන්තයක් නෑ, ගමන නතර කරන්නයි තියෙන්නෙ.

ලෝකෙ බුද්ධාගම ඉතුරු වුනා කියන ලංකාවෙ කිසිම දවසක බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ කියන එකයි මගේ විශ්වාසය. තමන්ගේ මනස ගවේෂනය කිරීම කියන අර්තයෙන් බුද්ධාගම වෙනස් වෙලා ගොඩක් කල්. අපිට ඉතුරු වෙලා තියෙන්නෙ දැනුම විදිහට කටපාඩම් කරපු ලංකාවෙ ව්‍යවස්තාව වගේ ඕනම අර්තයකට හරවන්න පුළුවන් කරුණු තොගයක් විතරයි. ඇදහිල්ලක්, ගැලවීමේ මාර්ගයක්, සම්ප්‍රදායක් විතරයි. මේ සියල්ලෙන්ම ඒ අවශ්‍ය අභ්‍යන්තර ගවේෂනය වලක්වනවා. රවට්ටනවා. ඒවා ජාතිය ආගම බවට පෙරලනවා.

ලෝකෙ මේ මොහොතෙත් බුදුවරුන් බිහිවෙමින් ඉන්නවා. ඒ බුදුවරුන් බහුතරයක් බිහිවෙන්නෙ බටහිරෙන්. බටහිර ආගම් අතර පර්යේෂන කරමින් විවිධ ආධ්‍යාත්මික සාරයන් හොයාගෙන යන ඒ වගේම අදේවවාදය, විද්‍යාව වගේ කාරණා මගින් මිත්‍යාව හරණය කරන ප්‍රවේශයන් ගන්න අය. ආගම වෙනුවට නැවත පුද්ගල ආධ්‍යාත්මය කියන කාරණය විෂය කරගන්නා අය.

මං පොඩි කාලෙ හැදුනෙ ඉතාම දැඩි බෞද්ධ පරිසරයක. පන්සල කියන්නෙ මට ගෙදරට වඩා හුරු තැනක්. මගේ ජීවිතේ වීරයා වුනේ සිද්ධාර්ථ. ඒ ආගමික නැඹුරුව විසින් මට දීපු පරිකල්පනයට, ඒ වගේම භෞතිකය ඉක්මවූ යමක් ගැන විශ්වාසයට, සාමූහික මිනිස් සංස්කෘතියට මං අදත් ගරු කරනවා. යෝද බුදු පිලිමයක් පාමුල කුඩාවට දැනෙන මගේ පැවැත්ම පිලිබඳ හැගීම මට අදටත් වටිනවා. ඒ මගේ ජීවිතේ මං ලබපු ලොකුම වත්කම.

ඊට පස්සෙ මං ගියා හේතුවාදයට. සියලු ආගමික විශ්වාසයන්ට පහර දෙන අන්තයට. ඒබ්‍රහම් ටී කොවුර් කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලකුනක් වුනා. පන්සලේ දහම් පාසැල් සමිතියෙ මං කොවුර්ගෙන් ඉගෙන ගත්ත ප්‍රශ්න කිරීම් කළා. පන්සල් කඩලා දාලා පොඩි උන්ට සෙල්ලම් පිට්ටනි හදන්න ඕනා කියල මං කියද්දි මං දහය වසරෙ විතර ඇති. අහන් ඉන්න මිනිස්සු කුපිත වෙද්දි හාමුදුරුවරු හිනාවෙවී මගේ ඔලුව අතගෑවා. තව දුරට හිතන්න, අපි කියන දේ ඒ විදිහට බාරනොගෙන ප්‍රශ්න කරන අලුත් පරම්පරාවක් ඉන්න එක කොච්චර හොඳද.. එහෙම කියන හාමුදුරුවරු ඇසුරෙයි මං හැදුනෙ. අද ඉන්න මැර චන්ඩි හාමුදුරුවරු නෙමෙයි එදා හිටියෙ. ගමේ දෙපැත්තෙ තිබුන පන්සල් දෙකේම සංඝාවාසවල තිබුන පුස්තකාල ඕනම වෙලාවක මට විවෘත වෙලා තිබුන.

හේතුවාදය විසින් මගේ ආගම ගැන ගොඩනැගිලා තිබුන අන්ධ විශ්වාස බැහැර කළා. ඒ ඇතුලෙ තියෙන සාරයන්, උවමනාවන් හොයාගෙන යන්න උනන්දු කළා. ආගම නැතුව හේතුවාදයෙන් ඇති වැඩක් නෑ. ආගම සහ හේතුවාදය කියන දෙකම එකට කළ යුතු අධ්‍යනයක්.

ඊට පස්සෙ මං ආධ්‍යාත්මිකත්වය නැත්තං ස්පිරිචුවලිටි කියන පැත්ත ගැන හොයන්න උනන්දු වුනා. හින්දුවාදය මට ඉතාම ආකර්ශනීය එකක් වුනා. පරණ වේදාන්ත නැවත අර්ථකතනය කරමින් එන ශංකරාචාර්ය, විවේකානන්ද, රාමක්‍රිෂ්න මට වෙනම විදිහක සිතීමක් නිර්මාණය කරලා දුන්නා. ඊට පස්සෙ ක්‍රිෂ්නමූර්ති, ඕෂො වගේම යූජී ක්‍රිෂ්නමුර්ති රුසියානු ගුර්ජීෆ් මගේ ජීවිතය වෙනස් කළා.

ස්පිරිචුවල් කියන වචනෙ මූලය වෙන ස්පිරිට් කියන එකේ මුල් තේරුම වෙන්නෙ හුස්ම කියන එක. ඒක ඊට පස්සෙ ආත්මය බවට පෙරලෙනවා. ඊලගට භූතාත්ම බවට පෙරලෙනවා. අරක්කු ඇල්කොහොල් බවට පෙරලෙනවා. ස්පිරිචුවලිටි කියන්නෙ නැවත හුස්ම අතර පැවැත්ම හොයාගෙන යන ගමනට.

විශ්වාසය ඇදහීම එල්බගැනීම වෙනුවට වෙනස් වෙනස් මානයන්ගෙන් තමන්ගෙ අභ්‍යන්තර දොරටු පරීක්ෂා කරන එක මගේ සාධනාව වුනා. තමන්ගෙන් බාහිර ඇත්තක් හොයාගෙන යනවා වෙනුවට බොරුවකින් හෝ තමන්ගේ අභ්‍යන්තර ඇත්තක් නිරාවරණය වෙනවා නම් ඒක දකින්න හුරුවීමයි ආධ්‍යාත්මික අභ්‍යාසය වෙන්නෙ. හැම සත්‍යයක්ම කරුනක්ම ඒ අදාල අවස්තාවට හා පුද්ගලයාට සාපේක්ෂ වෙනවා. බුදුන් ගැන කටකතාවක මෙහෙම එනවා. එක වෙලාවක බමුනො දෙන්නෙක් ඇවිත් බුදුන් මුනගැහෙනවා. එක බමුනෙක් දෙවියො විශ්වාස කරනවා. අනෙකා දෙවියෙක් නෑ කියල හිතනවා.

බුදුනි, දෙවියෙක් නෑ නේද? අදේවවාදී බමුනා අහනවා.

නෑ. දෙවියෙක් කියල කෙනෙක් නෑ. බුදුන් උත්තර දෙනවා. අදේවවාදී බමුනා ගිහින් අනෙකාට කියනවා අන්න බුදුන්ගෙන් අහගනිං. දෙවියෙක් නෑ යකෝ කියල.

දේවවාදී බමුනා දුවගෙන එනවා.

බුදුනි දෙවියෙක් ඉන්නවා නේද? එයා අහනවා.

දෙවියො ඉන්නවා. බුදුන් උත්තර දෙනවා.
ඒ බමුනා උඩ පැන පැන යනවා. දෙවියො ඉන්නවා යකෝ කියල.

බුදුන් උත්තර දෙන්නෙ අහන පුද්ගලයාට. දෙවියෙක් නැති බමුනා තුල දෙවියෙක් නෑ. දෙවියෙක් ඉන්න බමුනා තුල දෙවියෙක් ඉන්නවා. මේ බමුනාගේ ඇත්ත අනෙක් බමුනාට අදාල වෙන්නෙ නෑ. බුදුන්ගෙ දහම ඒ විදිහෙ පර්සනල් එකක්. ඒක පොදු අර්තයකට අරන් කියන කාරනා හැමදෙයක්ම දේශපාලනිකයි. දේශපාලනික කිසි දෙයක් ආධ්‍යාත්මික නෑ.